hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 12:32



එලිසබෙත් මහ රැජනගේ අවමංගලෝත්සවයට සහභාගි වීමට ලන්ඩනයට පැමිණි බ්‍රසීල ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ බ්‍රිතාන්‍ය යේ පෙට්‍රල් මිල ඉහළ යෑම සම්බන්ධව වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීම හේතුවෙන් දැඩි විවේචනයට ලක් වී ඇතැයි වාර්තා වෙනවා.

මහ රැජිනගේ අවමංගලෝත්සවයට සහභාගි වෙමින් සිටියදී බටහිර ලන්ඩනයේ ඉන්ධන පිරවුම්හලකට ගොස් එහි පෙට්‍රල් මිල දැක්වෙන පුවරුවක් අසළ සිට පටිගත කළ මේ වීඩියෝව බ්‍රසීලයේ එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය ප්‍රචාරක වැඩසටහනට උපයෝගි කරගැනීම ඔහුගේ අරමුණ වූ බව වාර්තා වෙනවා.

මේ වීඩියෝ පටය මගින් ඔහු බ්‍රසීල ජනතාවට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් මිල බ්‍රසීලයේ පෙට්‍රල් මිල මෙන් දෙගුණයක් ඉහළ ගොස් ඇති බවයි.

මීළඟ වතාවේදිත් බ්‍රසීලයේ ජනපති වීමට සිහින දකින බොල්සොනාරෝ මේ වනවිටත් එරට ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වී සිටින්නේ පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ දැමීම හේතුවෙන්.

‘මා මේ සිටින්නේ ලන්ඩනයේ ඉන්ධන පිරවුම්හලකය. මෙහි පෙට්‍රල් ලීටරයක මිල පවුම් 1.61කි. එය බ්‍රසීලයට වඩා දෙගුණයක් වැඩිය. ඇත්ත වශයෙන්ම අපගේ පෙට්‍රල් මිල ලොව බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතී.‘ ඔහුගේ මේ වීඩියෝ පටය බ්‍රිතාන්‍ය සහ බ්‍රසීලයේ වැඩි දෙනකුගේ අප්‍රසාදයට ලක්වී ඇත්තේ මහ රැජනගේ අවමංගලෝත්සවයට ලැබුණු නිල ඇරියුම සිය මැතිවරණය ප්‍රචාරණයට යොදා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන්.