hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 16, පෙ.ව. 1:48



අතුරුදන් වූ MH370 ගුවන් යානය සම්බන්ධයෙන් හාස්‍යජනක ලෙස අදහස් පළ කළ අමෙරිකාවේ ප්‍රහසන නිළියක වන Jocelyn Chia අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු බලධාරීන් ජාත්‍යන්තර පොලිසියේ සහය අපේක්ෂා කර තිබෙනවා.

නිව්යෝර්ක් හි පැවති ප්‍රසංගයක් අතරතුර දී ඇය මැලේසියාවේ දුර්වල ආර්ථික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මැලේසියාව සහ සිංගප්පූරුව අතර පවතින දිගුකාලීන එදිරිවාරිකම් සන්දර්භය තුළ “Malaysian Airlines” අතුරුදහන් වීම විහිළුවක් නොවන බවටයි ඇය ප්‍රකාශ කර තිබුණේ.

අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ පළවීමත් සමග පාර්ශ්ව රැසකගෙන් ඊට විරෝධය එල්ල වූ අතර මැලේසියාව ද නිල විරෝධතාවක් එල්ල කරනු ලැබුවා.

මීට අමතරව Jocelyn Chia සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිංගප්පූරුව ද පසුගියදා සමාව අයැද සිටියා.

කෙසේවෙතත් අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය වෙත අදහස් දක්වමින් Jocelyn Chia ප්‍රකාශ කර ඇත්තේ MH370 ගුවන් යානය අතුරුදන් වීමේ සිද්ධිය සහ එහි වින්දිතයන් කිසිදු අවස්ථාවක හාස්‍යයට ලක් නොකළ බවයි.

කෙසේවෙතත් ඇය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීම සිදු කිරීමට අවශ්‍ය ලේඛන සකස් කිරීමේ කටයුතු මැලේසියානු බලධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 12 දෙනෙකු සමග 2014 වසරේ දී අතුරුදන් වී තිබුණා.