hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:22



හිටපු ඇමරිකානු නීතිපති රොබර්ට් එෆ්. කෙනඩිගේ පුත්‍ර රොබර්ට් එෆ්. කෙනඩි (කනිශ්ඨ​) එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී තුන්වන අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරග කිරීමට සූදානම් වන්නේ යයි වාර්තා පළ වනවා.

එම වාර්තා අනුව ඔක්තෝබර් 9 වනදා ඔහු සිය තීරණය නිල වශයෙන් දැනුම්දීමට සූදානම් වනවා.

ඩිමොක්‍රටික් පක්ෂයේ 2024 ජනාධිපතිවරණ නාමයෝජනා දිනාගැනීම සඳහා වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝග කිරීමට ඔහු කටයුතු කරමින් සිටි නමුත් මෙවන් තීරණයක් ගතහොත් එම තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබෙනවා.

එවන් අවස්ථාවකදී 2024 ජනාධිපතිවරණය අවස්ථාවේදී බයිඩන්ට ලැබෙන ඡන්ද කැඩීමට රොබර්ට් එෆ්. කෙනඩි සමත් වීමට ඉඩකඩ තිබෙන බවයි මාධ්‍ය වාර්තාවලින් පැවසුණේ.

ඇමරිකාවේ ස්වාධීන අපේක්ෂකයකුට ජනාධිපතිවරණයක් ජයගැනීමට ඇත්තේ ඉතාම සීමිත ඉඩක් පමණයි. මෑත ඉතිහාසයේ එවන් අවස්ථාවක් එළඹේ යයි දිස් වූ එකම ජනාධිපතිවරණය වූයේ 1992 ජනාධිපතිවරණයයි. එහිදී රොස් පෙරෝ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් ව, එක්තරා අවස්ථාවක සමීක්ෂණ වාර්තාවලදී ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් සහ බිල් ක්ලින්ටන් යන දෙදෙනාටම වඩා ඉදිරියෙන් සිටියා. කෙසේ වෙතත් පසුව ඔහු අතින් සිදුවූ උපක්‍රමික වැරදි හේතුවෙන් ඔහුට තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා.