hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 8:03



උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් නැවත වතාවක් එරට අවි කර්මාන්තශාලා නිරීක්ෂණයක නිරත වෙමින් මිසයිල සහ අනෙකුත් අවි ආයුධ නිෂ්පාදනය වැඩි කරන ලෙස උපදෙස් දී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

මෙම උපදෙස් ලැබී ඇත්තේ ඇමරිකාව සහ දකුණු කොරියාව සිය වාර්ෂික හමුදා අභ්‍යාසය පැවැත්වීමට දින ගණනක් තිබියදී යි. උතුරු කොරියාව මෙම අභ්‍යාස සලකන්නේ තම රට ආක්‍රමණය කිරීමේ පෙරහුරුවක් ලෙසයි.

මේ අතර පසුගියදා රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේයි ෂොයිගු උතුරු කොරියාවේ සංචාරය කළ බැවින් විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ එම සංචාරය අතරතුර රුසියාව විසින් සිය යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියාවෙන් වැඩිපුර අවි ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කරන්නට ඇති බවයි.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල කිම් ජොංග්-උන් උතුරු කොරියාවේ මිසයිල මෙන්ම සන්නද්ධ රථ සහ කාලතුවක්කු උණ්ඩ නිපදවන කම්හල් නිරීක්ෂණය කළ බවයි එරට රජයේ මාධ්‍ය පවසන්නේ.

ඇමරිකාව සමග සාකච්ඡා බිඳවැටීමෙන් අනතුරුව උතුරු කොරියාව අවි නිෂ්පාදනය මෙන්ම න්‍යෂ්ටික පරීක්ෂණ කටයුතු කෙරේ වැඩි අවධානයක් යොමුකර ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. තවද​, 2019 දී එම සාකච්ඡා බිඳවැටීමෙන් අනතුරුව උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීම් සියයකට වඩා සිදුකර තිබෙනවා. ඇමරිකානු-දකුණු කොරියානු හමුදා අභ්‍යාස නුදුරේදී පැවැත්වෙන බැවින් උතුරු කොරියාව ද තවත් මිසයිල අත්හදාබැලීම් නුදුරේදීම සිදුකිරීමේ ඉඩක් ඇති බවයි විශ්ලේෂකයන් සැක පළ කරන්නේ.