hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 2:41



මාලදිවයිනෙහි ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. මෙවර ජනාධිපතිවරණය ඇතැම්විට තුන්කොන් සටනක් බවට පත්වීමේ ඉඩක් ඇති බවයි ඇතැම් වාර්තා අනුව පෙනීගොස් තිබෙන්නේ. එමෙන්ම එය ඉන්දියාව සහ චීනය අතර කලාපීය තරගයෙහි එක් සටන් බිමක් බවට පත්ව තිබෙනවා.

වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් සෝලි ඉන්දියාවට සමීප අයකු වන අතර 2018 දී පැවති ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් ලබාගත්තා. නමුත් ඔහුගේ පාලනය පිළිබඳ විවිධ චෝදනා මතුව තිබෙනවා. එක් පසෙකින් ඔහු ඉන් දියාවට සමීප බවත් ඉන් දියානු සන්නද්ධ අංශවලට මාලදිවයිනේ කටයුතු කිරීමට ඉඩ දී ඇති බවත් චෝදනා නැගෙනවා. එමෙන්ම අනෙක් අතට ඔහු දූෂණය පිටුදැකීමට කටයුතු නොකළ බවට ද චෝදනා මතුවනවා.

සෝලිගේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බෙදීම ද ඔහුට හානිකර වෙතැයි අනුමාන කෙරෙනවා. හිටපු ජනාධිපති මොහොමඩ් නශීඩ්ට හිතවත් පිරිසක් “ද ඩිමොක්‍රැට්ස්” පක්ෂය පිහිටුවාගත් අතර එහි ජනාධිපති අපේක්ෂකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉල්යාස් ලබීබ්.

මේ අතර මාලේ අගනුවර පුරපති මොහොමඩ් මුයිසු මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා යි. එම පක්ෂය හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් තරගයට නම් කළ ද ඔහු දූෂණ චෝදනාවලට වරදකරුවකු ව සිටින හෙයින් තරග කිරීමේ අවකාශය හිමි වූයේ නැහැ. ඔහුගේ පක්ෂය චීන හිතවාදී වන අතර කලකට පෙර මාලදිවයිනේ ප්‍රබලව නැගී ආ “ඉන් දියාව පිටවනු” විරෝධතා මෙහෙයවුනේ ද එම පාක්ෂිකයන් විසින්.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් අට දෙනකු ඉදිරිපත්ව සිටීම ද විශේෂිත අවස්ථාවක් වනවා. ඒ අතර හිටපු ජනාධිපති මොහොමඩ් අබ්දුල් ගයූම්ගේ පුත්‍රයා ද වනවා.

මෙම ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක් ඉක්මවා ඡන්ද ලබා නොගතහොත්, පළමු සහ දෙවන ස්ථාන දිනාගන්නා අපේක්ෂකයන් අතර ජනාධිපතිවරණයේ දෙවන වටයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති.