hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 1:06



අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ කිඩාල් නගරයෙහි එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදා විසින් අතැර දමන ලද කඳවුරක් අත්පත් කරගත් බව එරට ටුවාරෙග් ගෝත්‍රික කැරලිකාර කණ් ඩායමක් පවසනවා.

ස්ථිරසාර මූලෝපායික සැකිල්ල (Permanent Strategic Framework) නමින් තමන්ව හඳුන්වා ගන්නා කැරලිකාර සන්ධානය මෙම කඳවුර අත්පත් කරගත් බව අඟහරුවාදා ප්‍රකාශ කළා.

උතුරුදිග මාලි ප්‍රදේශයෙහිදී එක්සත් ජාතීන්ගේ හමුදා විසින් අතැර දැමූ තුන්වන කඳවුර කිඩාල් කඳවුරයි. මෙම ප්‍රදේශය ඉස්ලාමීය අන්තවාදී සහ ටුවාරෙග් සටන්කාමීන්ගේ තර්ජනයට ලක් වූ ප්‍රදේශයක් වනවා.

මෙම ප්‍රදේශයේ ටුවාරෙග් සටන්කාමීන් අවස්ථා කිහිපයකදී බෙදුම්වාදී අරගල දියත්කර තිබෙනවා. එයින් බරපතලම අරගලය 2012 දී පමණ ඇරඹුණ අතර එහිදී මාලි හමුදා සැලකිය යුතු පරාජයන් ලැබුවා. පසු කලෙක මෙම අරගලයට ඉස්ලාමීය මුහුණුවරක් ද ඇතිවුණා. 2014 දී ද නැවත මාලි හි හමුදා කැරලිකරුවන් අතින් පරාජයන් ලැබුවා.

2015 වනවිට කැරලිකරුවන් සහ මාලි හමුදා අතර සටන් විරාමයක් අත්සන් කෙරුණා. එයින් අනතුරුව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහි රඳවනු ලැබුණා. නමුත් ඔවුන් පිටවීමට සූදානම් වන සමයෙහි යළි මෙම ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී තිබෙනවා.

මාලි යුධ හමුදාව පවසන්නේ එක්සත් ජාතීන් සිය කඳවුරු මාලි හමුදා වෙත පවරා නොදී ඉන් ඉවත්වීම වරදක් බවයි. නමුත් එක්සත් ජාතීන් එම කඳවුරුවලින් ඉවත් ව තිබෙන්නේ පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන්. කිඩාල් වෙත පැමිණෙමින් සිටි මාලි හමුදා කණ්ඩායමක් කිලෝමීටර් 100 ක් පමණ ඈතින් සිටින බව වාර්තා වන අතර ඔවුන් කිඩාල් කඳවුර අල්ලාගැනීමට උත්සාහ කරනු ඇතිදැයි පැහැදිලි නැහැ.

මාලි හි හමුදා පාලනය රුසියාව සමග සමීප සබඳතාවයක් පවත්වනවා. එහෙයින් රුසියාවේ සහය සහ හිටපු වැග්නර් සටන්කාමීන්ගේ දායකත්වය ද ඇතිව ටුවාරෙග් කැරැල්ල මැඩලිය හැකි යයි එම ආණ්ඩුව අපේක්ෂා කරනවා.