hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 6:45



නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණ අවසානයේ මිශ්‍ර ප්‍රතිඵල ලැබේ යයි මූලික සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරනවා.

මෙම වාර්තා අනුව තීරණාත්මක මධ්‍ය ප්‍රදේශ් මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය වැඩි වාසි අත්කරගෙන ඇති බවයි පෙනී යන්නේ. එය මැතිවරණයට පෙර බොහෝ සමීක්ෂණ වාර්තා අනුව දිස්වූවක් නොවේ. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසාන දිනවලදී එම පක්ෂය වාසියක් අත්කරගන්නා බව පෙනෙන්නට තිබුණ බව ඇතැම් ඉන්දීය මාධ්‍යවේදීන් හා විචාරකයන් පෙන්වා දෙනවා.

රාජස්ථාන් ප්‍රාන්ත මැතිවරණය කරට කර සටනක් පෙන්නුම් කරන අතර ඇතැම්විට දැනට ප්‍රාන්තය පාලනය කරන කොන්ග්‍රස් පක්ෂය එහිදී වැඩි වාසි අත්කරගනු ඇතැයි පෙන්නුම් කෙරෙනවා.

තෙලන්ගනා ප්‍රාන්තයේදී එම ප්‍රාන්තයේ පාලක භාරතීය රාෂ්ට්‍ර සමිති පක්ෂයට කොන්ග්‍රස් පක්ෂයෙන් විශාල අභියෝගයක් එල්ල වනවා. බොහොමයක් සමීක්ෂණවලින් පෙන්නුම් කෙරෙන්නේ කොන්ග්‍රස් පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙන බවයි. එහෙත් එයට ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රමාණවත් ආසන ප්‍රමාණයක් ලැබේදැයි අවිනිශ්චිතයි. කෙසේ වෙතත් මෙම සමීක්ෂණ වාර්තා සත්‍ය නම් එය මහ ඇමති කේ. චන් ද්‍රශේකර් රාඕ ලබන බරපතල පරාජයක් වනු ඇති.

චත්තිස්ඝර් ප්‍රාන්තයේ තත්ත්වය එහි පාලක කොන්ග්‍රස් පක්ෂයට වැඩි වාසි පෙන්නුම් කළ ද ඔවුන් සතු වූ බහුතර ආසන ප්‍රමාණය අඩුවන බව පෙන්නුම් කෙරෙනවා. මේ අතර මිසෝරාම් ප්‍රාන්තයේදී සොරාම් මහජන ව්‍යාපාරය අතින් මිසෝ ජාතික පෙරමුණ පරාජය වේ යයි අනාවැකි පළ වී තිබෙනවා.

එළඹෙන වසරේ පැවැත්වෙන මහමැතිවරණයට පෙරෙ පැවැත්වීමට නියමිත අවසන් ප්‍රාන්ත සභා මැතිවරණ බැවින් මෙම මැතිවරණ කෙරෙහි විශාල අවධානයක් යොමු වුණා. මෙම මැතිවරණ පහේ නිල ප්‍රතිඵල දෙසැම්බර් 3 වනදා නිකුත් වනු ඇති.