hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 5:03



ඉන්දීය සිනමා ඉතිහාසයේ සුප්‍රසිද්ධම නළුවකු සහ පසු කලෙක ප්‍රකට දේශපාලකයකු වූ NTR රාඕගේ ජන්ම ශත සංවත්සරය අළලා ඉන්දීය රුපියල් 100 ක සමරු කාසියක් නිකුත් කරනු ලැබුණා.

ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ ප්‍රධානත්වයෙන් රාෂ්ට්‍රපති භවන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඊයේ මෙම සමරු කාසිය නිකුත් කෙරුණ අතර ඊට NTRගේ ඥාතීන් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වුණා. කෙසේ වෙතත් ප්‍රකට සිනමා නළුවකු වන NTRගේ මුණුබුරු කනිෂ්ඨ NTR රාඕ මෙම අවස්ථාවට එක්ව සිටියේ නැහැ.

තෙළිඟු සිනමාවේ නොමැකෙන සලකුණක් තැබූ NTR 1923 දී උපන් අතර 1949 සිට චිත්‍රපටවල රඟපෑමෙහි නිරත වුණා. ඔහු 1950 ගණන්වල බෙහෙවින් ප්‍රකට වූයේ හින්දු දේව චරිත රඟපෑම හේතුවෙන්. තෙළිඟු සිනමාවට ඔහු දැක්වූ දායකත්වය ඔස්සේ ඉන්දීය සිනමාව සහ සංස්කෘතිය පෝෂණය කිරීමට විශාල දායකත්වයක් දැක්වූ බව ජනාධිපති ද්‍රෞපදී මුර්මු සඳහන් කළා.

පසු කලෙක තෙළිඟු දේශම් පක්ෂය පිහිටුවාගත් NTR තෙවරක් ආන්ද්‍රා ප්‍රදේශ් හි මහ ඇමති ලෙස පත්වෙමින් වසර හතක කාලයක් එම ධුරය දැරුවා. කෙසේ වෙතත් 1995 දී ඔහුගේ බෑණා වූ චන්ද්‍රබාබු නායිදු විසින් දියත්කළ පක්ෂ අභ්‍යන්තර කැරැල්ලකින් NTRට බලය අහිමි වුණා. ඔහු 1996 දී හෘදයාබාධයකින් මරණයට පත්වුණා.