hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 9:32



දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය කටයුතු අද (19) අවසන් කිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන්, වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුර කේන්ද්‍රකොට ගනිමින් දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇති.

මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේයි.

ඒ අද (19) දිනයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට පමණයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ලන්ඩන් නුවර දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව මෙයයි.

ගොඩනැගිලි වහල මත ස්නයිපර් තුවක්කුකරුවන් රඳවා තැබෙන අතර, ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානා ආරක්ෂාවට යොදවා ගැනෙනු ඇති.

අවමංගල උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 10,000 ක් එක්ව සිටිනවා.

ඊට අමතරව සිවිල් වැසියන් ලෙස සැරැසුණු පොලිස් නිලධාරීන් රැජිනට ගෞරව දැක්වීමට රැස්වන ජනතාව අතරේ සිටිනු ඇතැයි ද පැවැසෙනවා.

බ්‍රිතාන්‍ය රජය කළ ඇරැයුම්වලට අනුව, වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පැවැත්වෙන මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද ඇතුළු ලෝක නායකයෝ රැසක් ලන්ඩනයට පැමිණ සිටිනවා.

රැජිනගේ දේහය රැගෙන යන පා ගමනට රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ලෝක නායකයන් ද එක් වීමට නියමිතයි.

මේ අතර පසුගිය දින කීපයේ මහ රැජිනගේ දේහය මහජන ගෞරව සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණු අතර ඊට ගෞරව දැක්වීමට පැමිණි පිරිස් කිලෝ මීටර් ගණනාවක් දිග පෝලිම්වල පැය ගණනක් රැඳී සිටියා.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ මුහුණුපුරු මිණිපිරියන් ඇතුළු රජ පවුලේ සාමාජිකයෝ ද රැජිනට ගෞරව දැක්වීමට වෙස්ට්මිනිස්ටර් ශාලාවට පැමිණ සිටියා.

විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ හමුදා නිල ඇඳුමින් සැරැසී මහ රැජිනට ගෞරව දැක්වූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: