hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 2:03



බකිංහැම් මාලිගයේ තැන්පත් කර ඇති දෙවන එළිසබෙත් රැජිනගේ දේහය වෙස්මිනිස්ටර් ශාලාව වෙත අද (14) රැගෙන යාමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රැජින උද්‍යානය, The Mall, Horse Guards and Horse Guards Arch, Whitehall, පාර්ලිමේන්තු වීදිය, පාර්ලිමේන්තු චතුරශ්‍රය සහ නව මාලිගා අංගනය ඔස්සේ – මධ්‍යම ලන්ඩනය හරහා රැජිනගේ දේහය රැගෙන යන අතරතුරේදී මහජනතාවට නැරඹීමට හැකි වනු ඇති බවද සඳහන්.

රැජිනගේ දේහය රැගෙන යන රථ සමගින් III චාල්ස් රජු, විලියම් කුමරු සහ හැරී කුමරු මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ද ගමන් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ උස් වූ වේදිකාවක් මත රැජිනගේ දේහය රැඳවීමෙන් අනතුරුව චාල්ස් රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් සහභාගී වන කෙටි දේව මෙහෙයක් පවත්වනු ලබනවා.

සොල්දාදුවන් විසින් රැජිනගේ දේහය සෑම විටම ආරක්ෂා කරමින් දේහය අසළ රැඳී සිටින අතර වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව දින හතරක කාලයක් පුරා මහජනතාවට ගෞරව කිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇති.

ඉන් අනතුරුව සැප්තැම්බර් 19 වන දා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඊයේ මහ රැජිණගේ දේහය එඩින්බරෝ සිට බටහිර ලන්ඩනයේ නෝර්ටෝල්ට්හි පිහිටි රාජකීය ගුවන් හමුදා කඳවුර වෙත ගුවන් මගින් ගෙන එනු ලැබුවා.

එතැන් සිට, මහ ජන ගෞරව මධ්‍යයේ ඇයගේ දේහය රැගත් අවමංගල්‍ය රථය මධ්‍යම ලන්ඩනයේ පිහිටි මාලිගය වෙත ගෙන යන ලද බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළා.