hit counter

2025 නොවැම්‍බර් මස 08 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 29, ප.ව. 8:43



රුසියානු හමුදා දන්යෙත්ස්ක් පළාතේ පක්‍රොව්ස්ක් නගරය තුළ සටන් වදිමින් සිටින බවත් ඊට යාබද මීර්නග්‍රද් නගරයට උතුරින් සහ නැගෙනහිරින් ළඟාවෙමින් සිටින බවත් වාර්තා වනවා.

යුක්‍රේන මූලාශ්‍ර සඳහන් කළේ මීර්නග්‍රද් නගරය අසළ සටන් සිදුවෙමින් පවතින බවයි.

මේ අතර පක්‍රොව්ස්ක් දුම්රිය ස්ථානය අසළ රුසියානුවන් සටන් වදිමින් සිටින්නේ යැයි රුසියානු මූලාශ්‍ර වාර්තා කරනවා. නගරයේ බටහිරදිග ප්‍රදේශය තුළ රුසියානු හමුදා බලය තහවුරු කරගනිමින් සිටිනවා.

දන් යෙත්ස්ක් පළාතේ මූලෝපායික ලෙස වැදගත් ස්ථානයක මෙම නගර පිහිටා තිබෙනවා. මෙය ඉලක්ක කරගෙන රුසියානු මෙහෙයුම් ඇරඹී වසරකට ද වැඩි අතර ඔවුන් කෙමෙන් කෙමෙන් පක්‍රොව්ස්ක් නගරයට දකුණුදිගින් ආසන්න වුණා. මෑතකදී ඔවුන් මීර්නග්‍රද් අදළට ද පැමිණීමට සමත්ව තිබෙනවා. ඊයේ (28) වනවිට මීර්නග්‍රද් නගරයට උතුරින් පිහිටි රදින්ස්කයේ නගරයේ බලය රුසියානුවන් අතට පත්වෙමින් තිබුණ බව වාර්තා වුණා.

මේ වනවිට රුසියානු ඩ්‍රෝන ප්‍රදේශයේ අහස සිය අණසකට නතු කරගනිමින් සිටින අතර සැපයුම් ගෙන ඒම යුක්‍රේනියානුවන් මුහුණ දෙන බරපතලම අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

මේ අතරවාරයේ හාර්කෆ් පළාතේ කුපියාන්ස්ක් නගරය තුළට ද රුසියානුවන් ඇතුල් වී ඇතැයි යුක්‍රේන මූලාශ්‍ර වාර්තා කර තිබුණා. මෙම නගරය 2022 යුධ මෙහෙයුම් ඇරඹුණු දිනවල රුසියානු පාලනයට නතු වූ නමුත් එම වසරේ සැප්තැම්බරයේදී යළි යුක්‍රේනියානුවන් අතට පත්වුණා.