hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:50



විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වන්නන්ට දැඩි දඬුවම් ලබාදීමේ නීතියක් ගෙන ඒමට ඉන්දුනීසියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙය අපරාධ නීතියක් වනු ඇති අතර එය ලබන සතියේ එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙනු ඇති බව පැවසෙනවා.

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම මෙන්ම විවාහයට පිටින් ලිංගික සබඳතා පැවැත්වීමද මෙම නීතිය යටතේ අපරාධ ලෙස සැලකෙනු ඇති. මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට අවුරුද්දක කාලයක් දක්වා සිර දඬුවම් ලබාදීමට හැකියාව ඇති බවද වාර්තා වනවා.

මෙම දඬුවම් ලබා දෙනු ඇත්තේ මෙවැනි වැරදි කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණහොත් පමණයි. විවාහකයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අයිතිය ඇත්තේ අදාළ පුද්ගලයාගේ සැමියාට හෝ බිරිඳටයි. විවාහ නොවූ පුද්ගලයන්ගේ මව්පියන්ට මේ ආකාරයෙන් පැමිණිලි කිරීමට හැකියාව තිබෙනවා.

මෙම නීතිය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට වෙසෙන විදේශිකයන්ටද එකසේ බලපානු ඇති. ඇතැම් නිරීක්‍ෂකයන් පවසන්නේ මෙවැනි නීති පැනවුවහොත් විදේශිකයන් ඉන්දුනීසියාවට පැමිණීම අඩුවනු ඇති බවයි.

එය එරට ආර්ථිකයට බලපෑමක් එල්ල කරන්නක් වනු ඇති බවට ඔවුහු අනතුරු අඟවනවා.

ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයට සහ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට එය බලපානු ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් එරට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ඕමාර් ෂරීෆ් හියරීජ් පවසා තිබුණේ ඉන්දුනීසියාවේ වටිනාකම් පිලිබිඹු කරන නීති පද්ධතියක් තිබීම ආඩම්බරයක් වනු ඇති බවයි.

ලිංගික සබඳතාවලට අදාළ නීති මෙන්ම තවත් නීති කිහිපයක් ගෙන ඒමට පාර්ලිමේන්තුව සූදානම් වන බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්.