hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 09, ප.ව. 3:23



දිවියෙන් සමුගත් ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමති පත්‍රය මුල් වරට නිකුත් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ, වෝන් සිය අමෙරිකානු ඩොලර් මිලියන 20.7ක් වටිනා බූදලය ඔහුගේ දරුවන් අතර බෙදා දී ඇති බවයි.

ඒ අනුව, ඔහු තම ධනයෙන් සියයට 31 බැගින් තම දරුවන් තිදෙනා වන ජැක්සන්, බෲක් සහ සමර් වෙත බෙදා දී ඇති බව ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද ලේඛන හෙළි කරන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉතිරියෙන් සියයට දෙකක් ඔහුගේ සොහොයුරා වන ජේසන්ට සහ සියයට දෙකහමාරක් බැගින් ඔහුගේ ඥාති දියණිය ටයිලා හා ඥාති පුතු සෙබස්තියන් අතර බෙදී ගිය බව හෙරල්ඩ් සන් වාර්තා කර තිබෙනවා.

නමුත් ඔහුගේ පුත්‍රයාට ඊට වඩා වැඩි කොටසක් පවරා ඇතැයි සඳහන් වෙනවා.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් 375,000ක පමණ වටිනා වෝන්ගේ වාහන වන Yamaha යතුරුපැදියක්, BMW සහ Mercedes වර්ගයේ මෝටර් රථ ජැක්සන්ට ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු තම දරුවන්ගේ මව වන සිමෝන් කැලහාන්ට හෝ ඔහුගේ හිටපු පෙම්වතිය වන ලිස් හර්ලි වෙනුවෙන් කිසිවක් ලබා දී නැතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඩොලර් මිලියන 20.7ක් වටිනා බූදලයට වික්ටෝරියා ප්‍රාන්තයේ පෝට්සීහි ඇති ඔහුගේ ඩොලර් මිලියන 6.5ක් වටිනා නිවස සහ ඔහුගේ ඔස්ට්‍රේලියානු බැංකු ගිණුමේ ඇති ඩොලර් මිලියන 5 ද ඇතුළත්.

ඊට අමතරව HSBC බැංකු ගිණුමක ඩොලර් 500,000ක් පමණ ද ඩොලර් මිලියන 3 කට ආසන්න කොටස් ද තිබී ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඩොලර් මිලියන 2ක් වටිනා අනෙකුත් වත්කම් අතර ජෙට් ස්කී එකක් ද වූ බව සඳහන්.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෝර්න්ට අමෙරිකානු ඩොලර් 295,000ක ණය ගෙවීමට තිබුණු බවයි.

52 හැවිරිදි වියේ පසුවූ වෝන් පසුගිය වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේදී හෘදයාබාධයකින් මිය ගිය අතර ඔහුගේ හදිසි මරණය ලෝකය කම්පනයට ද පත් කළා.