hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 22, පෙ.ව. 11:51



ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සාගර පතුළට යද්දී අතුරුදන් වූ කුඩා සබ්මැරීනයේ (කුමුඳුවේ) සිරවුණු පස් දෙනා සොයමින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, සිරවුණු පස්දෙනාට ඔක්සිජන් ඇත්තේ තව පැය 30 කට පමණක් බවයි.

සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බව වෙරළාරක්ෂකයෝ පෙන්වා දෙනවා.

පසුගිය ඉරිදා (18) රාත්‍රියේ, පිරිස අතුරුදන් වූයේ ‘ටයිටන්’ නමැති සබ්මැරීනයෙන්, අඩි 3,800ක් පහළින් ඇති ටයිටැනික් නැවේ සුන්බුන් ඇති ස්ථානය බලා යමින් සිටිද්දීයි.

ඇමෙරිකා වෙරළාරක්ෂකයන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට නායකත්වය දෙන අතර, ප්‍රංශ වෙරළාරක්ෂකයන්, නාවික සහ ගුවන් හමුදාව මෙහෙයුම් සඳහා එක් වී සිටිනවා.

ඊට අමතරව, ප්‍රංශ රජය ද ඔවුන්ගේ නාවික යාත්‍රාවක් සෝදිසි මෙහෙයුමට එක් කර තිබෙනවා.

මුහුදේ වර්ග කිලෝ මීටර් 20,000 ක ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාම්තක වන බව ද වාර්තා වෙනවා.

රේඩාර්වලින් සමන්විත විශේෂ ගුවන් යානා සහ මුහුදු පතුල ගවේෂණය කරන නාවික යාත්‍රා මෙහෙයුමට එක් වී සිටින බව වාර්තා වෙනවා.

සබ්මැරීනයේ සිරවුණු පිරිස සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කර තිබෙනවා.

පිරිස බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම ඇමෙරිකා රජය සිදු කරන බව බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

1912 වසරේ අප්‍රේල් 14 වැනිදා ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමයි.

‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම ටයිටැනික් නැව ගිලුණු ස්ථානයට ගොස් සුන්බුන් නැරැඹීමට සලස්වා ආපසු එම දින 8 කින් සිදු කරනවා.

ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීම වෙනුවෙන් එක් අයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කෙරෙනවා.

‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2021 වසරේ සිටය.

අතුරුදන් වුණු කුමුඳුවේ නියමුවා පෝල් හෙන්රි නාර්ජියෝලේයි.

අවස්ථා ගණනාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය මොහු ප්‍රංශ ජාතික විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක්.

සංචාරකයන් ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට කටයුතු සංවිධානය කරන ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උපසභාපති ස්ටොකොන් රෂ් ද අතුරුදන් සබ්මැරීනයේ සිටිනවා.

සංචාරකයන් ලෙස ගමනට එක්වූයේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති  හාමීෂ් හාඩින්ය.

මොහු ‘ඇක්ෂන් ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමේ ප්‍රධානියායි.

අනෙක් දෙදෙනා ‘එන්ග්‍රෝ’ සමාගමේ උප සභාපති බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ෂෙහ්සාද් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන්ය.

පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස ෂෙහ්සාද් දාවුද් සැලකෙයි.