hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 9:45



ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් පැහැරගන්නා ලද ප්‍රාණ​ඇපකරුවන්ගේ පවුල්වල අය අද ඔවුන් විසින් සංවිධානය කළ පාගමනේ පස්වන දිනයට සහභාගී වනවා.

ටෙල් අවිව් සිට යෙරුසලම දක්වා ගමන් කරන පාගමනට 30,000 ක් පමණ ඊශ්‍රායල වැසියන් එක්ව ඇතැයි එරට චැනල් 12 රූපවාහිනිය පැවසුවා.

මෙම පිරිස අගමැතිවරයාගේ කාර්යාලය අසළ විරෝධතාවයක් දැක්වීමට නියමිතයි.

“අපගේ දෑස දෙස බලන්න​” යනුවෙන් ඔවුන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසන්නේ ප්‍රාණඇපකරුවන් මුදාගැනීම සඳහා නෙතන්යාහු ප්‍රමාණවත් උත්සාහයක් නොගන්නා බවයි. එමෙන්ම දිනෙන් දින ඔවුන් නිදහස් කරගැනීමේ අවකාශයන් අහුරන බව ද එම විරෝධතාකරුවන් අගමැතිවරයා වෙත දෝෂාරෝපණය කරමින් කියා සිටිනවා.

මේ අතර ඊශ්‍රායල විපක්ෂ නායක යේර් ලපීඩ් අද දින විරෝධතාවය සමග එක්ව තිබුණා. නෙතන්යාහු යුධ ප්‍රයත්නය ගෙනයන ආකාරය අසාර්ථක බවත් වඩා සුදුසු අයකුට බාර දී ඔහු ඉල්ලා අස්විය යුතු බවත් මෑතකදී ඔහු සඳහන් කළා.

ඊශ්‍රායල ජනතාව අතර නෙතන්යාහුගේ ජනප්‍රියත්වය බරපතල ලෙස පහළ වැටී ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. මේ අතර සිකුරාදා ඊශ්‍රායල හමුදා විසින් මරණයට පත්වූ ප්‍රාණ​ඇපකරුවන් දෙදෙනකුගේ සිරුරු සොයාගෙන තිබුණා.