hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 8:58



ගාසා තීරයට ගොඩබිමින් ආක්‍රමණයක් සිදුකිරීම සඳහා ඊශ්‍රායලය සතුව සාර්ථක සැලැස්මක් නොමැති බවට ඇමරිකාව ද සැක පළ කරන්නේ යැයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙනවා.

එම පුවත්පත කියා සිටින්නේ පසුගියදා ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් හමුවූ අවස්ථාවේ දී ගොඩබිම් ප්‍රහාර ඇරඹීමට පෙර ඉතා ප්‍රවේශමෙන් කරුණු විමසා බලන ලෙස ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කළ බවයි.

තවද​, හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා ද ඊශ්‍රායලයට සාර්ථක විය හැකි සැලැස්මක් නොමැති බවට ඇමරිකානුවන් සැක පළ කරනවා. ඇමරිකානු නිලධාරීන් පවසා ඇත්තේ එවන් සැලැස්මක් ඊශ්‍රායලය වෙතින් තමන්ට ඉදිරිපත් නොවුණ බවයි.

නාගරික සටන් පිළිබඳ උපදෙස් ලබාදීම සඳහා ඇමරිකානුවන් විසින් තම මැරීන් හමුදාවේ ලුතිනන් ජෙනරල් ජේම්ස් ග්ලින් ඊශ්‍රායලය වෙත යවා තිබෙනවා. කෙසේ වෙතත් තමන් යුධමය තීන්දු තීරණ ගැනීමට සම්බන්ධ නොවන බව ඇමරිකාව අවධාරණය කරනවා.

මේ අතර හමාස් සංවිධානය සතුව 35,000 ක සටන් කාමීන් පිරිසක් සිටින බව එහි ප්‍රකාශකයකු පවසා තිබුණා. එමෙන්ම ඊයේ රාත්‍රී නිදහස් කෙරුණ ප්‍රාණ ඇපකාරියන් දෙදෙනා සඳහන් කර ඇත්තේ තමන්ව ඉතා සංකීර්ණ උමං පද්ධති ඔස්සේ ගෙන ගිය බවයි. මෙම උමං පද්ධති ඊශ්‍රායලය මුහුණදෙන ප්‍රබලම අභියෝගයක් වනවා.