hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 9:44



එසෙකීබෝ ප්‍රදේශය අරභයා ඇතිව තිබෙන අර්බුදය විසඳාගැනීම පිණිස වෙනෙසුවේලාවේ සහ ගයානාවේ ජනාධිපතිවරුන් දෙසැම්බර් 14 වනදා හමුවීමට නියමිත බව සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනෙඩීන්ස් රාජ්‍යයේ අගමැති රැල්ෆ් ගොන්සාල්වේස් සඳහන් කරනවා.

ලතින් ඇමරිකානු සහ කැරිබියානු ප්‍රජාවගේ සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන ගොන්සාල්වේස් මේ බව සඳහන් කළේ සෙනසුරාදා දිනයේ වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ද වෙනෙසුවේලා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර තත්ත්වය බරපතල වන ආකාරයේ ඒකපාර්ශවීය තීරණ නොගන්නා ලෙස ඔහු මදුරෝගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡා සඳහා ලූලා ද සිල්වා නිරීක්ෂකයකු ලෙස සහභාගී වීමට ඉඩ ඇතැයි ද වාර්තා වනවා.

එසෙකීබෝ ප්‍රදේශය ගයානාව විසින් පාලනය කරන නමුත් වෙනෙසුවේලාව එය තමන්ට අයත් ප්‍රදේශයක් බව කියා සිටිනවා. බ්‍රිතාන්‍යය විසින් ගයානාව පාලනය කරන ලද සමයෙහි මෙම දේශසීමාව නිවැරදිව සලකුණු නොකෙරුණ බවයි වෙනෙසුවේලාව පවසන්නේ. මෑතකදී පවත්වන ලද ජනමත විචාරණයකදී වෙනෙසුවේලා ජනතාව විසින් එසෙකීබෝ ප්‍රදේශය තමන්ට අයත් බව තීරණය කළ අතර ඒ අනුව සාමකාමී ක්‍රම මගින් එම ප්‍රදේශය ලබාගැනීමට කටයුතු කරන බව මදුරෝ කියා සිටියා.

කෙසේ වෙතත් ගයානා ජනාධිපති ඉර්ෆාන් අලී අවධාරණය කරන්නේ තම රටෙහි භූමිය පවරාදීම පිළිබඳ සාකච්ඡා නොකරන බවයි.