hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 06, ප.ව. 10:04



ගයානාවේ එසෙකීබෝ ප්‍රදේශය සිය පළාතක් ලෙස ඇතුල් කරන ලද නව සිතියමක් නිකුත් කිරීමට වෙනෙසුවේලාව කටයුතු කර තිබෙනවා.

මෙම සිතියම මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරමින් ජනාධිපති නිකුලස් මදුරෝ සඳහන් කළේ එය පාසැල්වලට සහ විශ්ව විද්‍යාලවලට ද නුදුරේදීම ලබාදෙන බවයි.

ගයානාවේ එසෙකීබෝ ප්‍රදේශය වෙනෙසුවේලාවට අයත් වියයුතු බවට වෙනෙසුවේලා ජනතාව විසින් නොබෝදා සිදුකළ ජනමත විචාරණයකදී තීරණය කළා. ඒ අනුවයි මදුරෝ මෙම නව සිතියම ප්‍රසිද්ධ කළේ. මෙම ප්‍රදේශය ඔවුන් විසින් නම් කර ඇත්තේ ගයානා එසෙකීබා ලෙසයි.

එසෙකීබෝ ප්‍රදේශයට ගයානාවේ බිම් ප්‍රදේශයෙන් තුනෙන් දෙකක් පමණ අයත්වන අතර එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 160,000 ක් පමණ වනවා. 1899 සිට එම ප්‍රදේශය පිළිබඳව මතබේදයක් තිබෙනවා. එකළ ගයානාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැතුනා. ගයානාව නිදහස ලැබූ පසුව ද මෙම දේශසීමා අර්බුදය අවසන් වූයේ නැහැ. මීට වසර කිහිපයකට පෙර එසෙකීබෝ ප්‍රදේශයට ඔබ්බෙහි මුහුදේ තෙල් නිධි හමුවීමත් සමග වෙනෙසුවේලාව නැවත සිය අයිතිවාසිකම අලුත් කළා.

වෙනෙසුවේලා රජය විසින් මෙම ගැටළුව අරභයා ජනමත විචාරණයක් දෙසැම්බර් 3 වනදා පවත්වනු ලැබුණ අතර එහිදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 95 ක් එසෙකීබෝ ප්‍රදේශය වෙනෙසුවේලාවේ කොටසක් විය යුතුය කියන මතයට සහය පළ කළා.

මෙම ගැටළුව පිළිබඳ ජාත්‍යන්තර යුක්ති අධිකරණය හමුවේ ගයානාව විසින් ගොනු කරන ලද නඩුවක් තවම විභාග කෙරෙමින් පවතිනවා. ගයානා ජනාධිපතිවරයා නොබෝදා පැවසූයේ වෙනෙසුවේලාව පැවත්වූ ජනමත විචාරණය සිය රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් බවයි.