hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 8:09



චීන ජනාධිපති සී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අද දීර්ඝ ද්වී පාර්ශවික සාකච්ඡාවක නිරත වුණා. මෙම හමුව සිදුවූයේ චීනයේ පැවැත්වෙන තීරයක් මාවතක් සමුළුවෙහිදී යි.

මෙම දිනවල පැවැත්වෙන තීරයක් මාවතක් සමුළුව මේ ආකාරයේ තුන්වන සමුළුවයි. මීට පෙර සමුළු දෙකට ද ව්ලදිමීර් පුටින් සහභාගී වූ බව සිහිපත් කළ සී ජින්පිං, එමගින් තීරයක්, මාවතක් වැඩපිළිවෙල සඳහා රුසියාවේ සහයෝගය මනාව දිස්වන බව සඳහන් කළා.

දෙරට අතර විශ්වාසය දිනෙන් දින වර්ධනය වන බවයි සී ජින්පිං මෙහිදී තවදුරටත් කියා සිටියේ. දෙරට අතර වෙළෙඳාම සීඝ්‍රයෙන් වර්ධනය වන අතර එය එම රටවල්වල ඉලක්කය වන වසරකට ඩොලර් බිලියන 200 සීමාව කරා ළඟාවෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එමෙන්ම BRICS සංවිධානයේ වර්ධනය මගින් ලෝකයේ බහුධ්‍රැව ස්වභාවය පෙන්නුම් කරන බවත් අන්තර්ජාතික සංවිධාන වඩා ප්‍රජාතන්ත්‍රිකකරණය වීම පෙන්නුම් කෙරෙන බවත් ඔහු කියා සිටියා.

මේ අතර ජනාධිපති පුටින් පෙන්වා දුන්නේ තීරයක්, මාවතක් වැඩපිළිවෙල ඵලදායක වන්නක් බවයි. තවත් රටවල් ඊට එක් වේ යයි තමන් අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා. එමෙන්ම ලෝක දේශපාලනය වඩා සාධාරණ පරිසරයක් කරා ගමන් කිරීම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර නායකයින් දෙදෙනා වර්තමාන ඊශ්‍රායල​-පලස්තීන අර්බුදයේ තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.