hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 20, ප.ව. 7:31



හමාස් සංවිධානයේ ප්‍රබලයකු වන යාහ්යා සින්වාර් රෆා නගරයේ සිට ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට පළාගොස් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විශ්වාස කරන බවට පළ වූ වාර්තාවක් එම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම වාර්තාව පළ වී ඇත්තේ සෞදි අරාබියානු පුවත් වෙබ් අඩවියකයි. එම පුවත අසත්‍යයක් බවත් එම ආයතනයෙන් මීට පෙර ද අසත්‍ය පුවත් වාර්තා වී ඇති බවත් ඊශ්‍රායල බලධාරීන් කියා සිටි බව ටයිම්ස් ඔෆ් ඉශ්‍රායෙල් පුවත්පත පැවසුවා.

කෙසේ වෙතත් සින්වාර් පළාගොස් ඇතිදැයි සනාථ කරගත හැකි ක්‍රමයක් නොමැති තත්ත්වයක් මතුව තිබෙනවා. රෆා ප්‍රදේශයේ සිට සිනායි වෙත නිමවා ඇති උමං මාර්ගවලින් ඔහුට අවශ්‍ය නම් පළා යා හැකියි.

සින්වාර්ට සමාන හැඩරුව ඇති අයකු උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරන දර්ශන මෑතකදී ඊශ්‍රායල හමුදා විසින් ප්‍රසිද්ධ කරනු ලැබුණා. එම දර්ශන ඛාන් යුනිස් ප්‍රදේශයේදී ගන්නා ලද බවයි වාර්තා වූයේ. එහි සිට සින්වාර් රෆා වෙත පළා ආයේ යයි ඊශ්‍රායලය සැක කරනවා.

මේ අතර තවමත් ඛාන් යුනිස් ප්‍රදේශයේ දරුණු සටන් පවතින අතර ගාසා නගරයේ ද අලුතින් මෙහෙයුම් දියත් කිරීමේ සැලසුම් පිළිබඳ ඊශ්‍රායල හමුදාව ඉඟි පළ කර තිබුණා.