hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 21, ප.ව. 12:43



රාමසාන් උත්සවය වෙනුවෙන් යේමනයේ අගනුවර වන සානා නගරයේ පාසලක පෙරේදා (19) රාත්‍රියේ පැවැති මුදල් ආධාර ලබා දීමේ උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 78 දෙනකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මුස්ලිම් ප්‍රජාවගේ ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් සානා නගරයේ වෙළෙඳුන් විසින් ලබා දුන් මුදල් ආධාර බෙදා දීම සඳහා පැවැති උත්සවයක දී මෙම තෙරපීම සිදුව තිබෙනවා.

එම අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කළ අය අතුරින් 13 දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙනවා.

මෙම මුදල් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ එක් අයකුට යේමන් රියාල් 5000ක් (ඇමරිකානු ඩොලර් 09ක්) බෙදා දී ඇති අතර එය ලබා ගැනීම සඳහා එකවර විශාල පිරිසක් පාසලට එක් රොක් වී තෙරපීම හේතුවෙන් මෙම ව්‍යසනය සිදුව තිබෙනවා.

යේමනයේ අගනුවර වන සානා නගරයේ සිටින දුගී පුද්ගලයන් රැසක් මෙම මුදල් ආධාර බෙදා දීමේ අවස්ථාවට එක පොදියට පැමිණ ඇති බව අනාවරණය වී ඇති අතර මෙම වැඩසටහන ඇරඹීම සඳහා පාසලේ ගේට්ටුව විවෘත කරනවාත් සමගම විශාල පිරිසක් පාලනය කළ නොහැකි අයුරින් පාසල තුළට තෙරපෙමින් ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යේමනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් නොකර මෙවැනි නිසි සම්බන්ධීකරණයක් නොමැති වැඩසටහනක් සංවිධානය කළ වෙළෙඳුන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව යේමන් රජය විසින් නිවේදනය කර තිබෙනවා.

යේමනය එරට කැරලිකරුවන් හා රජයේ හමුදාවන් අතර පවතින නව වසරක සිවිල් යුද්ධය හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර 2015 වසරේ දී රජයේ හමුදාවන් පලවා හැරී හවුති කැරලිකරුවෝ යේමනයේ අගනුවර පාලන කටයුතු මෙහෙයවමින් සිටිනවා.