hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2026 ජූනි 13, පෙ.ව. 12:12



2026 මාර්තු මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 102.2ක් පමණ වන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී ඔහු අවධාරණය කළේ රටක ණය තිරසාරභාවය ඇගයීමට ලක් කළ යුත්තේ විනිමය අනුපාතවල සිදුවන උච්චාවචනයන් මත නොව, අදාළ ණය පියවීමට එම රටට ඇති හැකියාව මත පදනම්ව බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, 2026 මාර්තු අවසානය වන විට මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 98.96ක් වූ බවයි. පළාත් සභා, පළාත් පාලන ආයතන මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන් විසින් ලබාගෙන ඇති ණය ද මීට ඇතුළත් කළ විට සමස්ත ණය තොගය ඩොලර් බිලියන 102.2ක් දක්වා ඉහළ යන බවත්, මෙය 2025 වසර අවසානයේ වාර්තා වූ මට්ටමට වඩා අඩුවීමක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රුපියලෙන් වාර්තා කරනු ලබන රාජ්‍ය ණය ගණනය කිරීම්වලදී සිදුවන පොදු වැරදි වැටහීම් සහ විනිමය අනුපාත චලනයන්හි බලපෑම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් කළේය.

“ණය ලබාගන්නේ ඩොලර්වලින් නම්, එම වගකීම පවතින්නේ ඩොලර්වලින්මයි. රුපියල්වලින් ලබාගන්නා ණය පවතින්නේ රුපියල්වලින්මයි. ජාත්‍යන්තර ගනුදෙනු සහ වාර්තාකරණ අවශ්‍යතා සඳහා බොහෝ විට මෙම දත්ත ඇමෙරිකානු ඩොලර්වලින් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. නමුත් එම සංඛ්‍යාලේඛන රුපියල්වලට පරිවර්තනය කිරීමේදී, පවතින විනිමය අනුපාතය මත පදනම්ව වාර්තාගත අගය වෙනස් විය හැකියි.”

ණය වර්ධනය වීම සහ විනිමය අනුපාත පාඩුව අතර වෙනස පැහැදිලි කරමින් අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ මුදල් ණයවල රුපියල් අගය ඉහළ ගියද, ඉන් සැබෑ ණය වගකීම වැඩි නොවන බවයි.

රුපියල්වලින් පෙන්නුම් කරන අතිරේක මුදල විනිමය අනුපාත පාඩුවක් මිස අලුතින් ලබාගත් ණයක් නොවන බවත්, ප්‍රතිපත්ති සම්පාදකයින් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ණය තිරසාරභාවය පවත්වා ගැනීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: