hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2026 ජූනි 17, පෙ.ව. 12:10



ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ ගියද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් තවදුරටත් දැනට පවතින මට්ටමේම ටික කාලයක් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

රජය විසින් ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමේ වැඩසටහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ බවයි.

අප්‍රේල් මාසයේ සිට ආරම්භ වූ මෙම සහනාධාර වැඩසටහන එළඹෙන ජූනි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් පහළ ගියද මෙරට මිල ගණන් අඩු නොවීමට බලපාන ප්‍රධාන හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙතෙක් රජය විසින් සහනාධාරයක් ලබා දෙමින් ඉන්ධන මිල පාලනය කර තිබීමයි.

ජූනි මාසයෙන් පසු එම සහනාධාරය ලබා නොදීමට තීරණය කළහොත්, ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීමේ වාසිය සහ සහනාධාරය ඉවත් කිරීමේ බලපෑම එකිනෙක සමනය වී ඉන්ධන මිල දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පැවතීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු සඳහන් කළේය.

මේ වන විට රජයේ ආදායම් තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත්, අපේක්ෂිත රාජ්‍ය ආදායම සියයට 100-120ත් අතර ප්‍රමාණයකින් රැස්කර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව සියලුම බලශක්ති සහනාධාර සහ අනෙකුත් සහන පියවර සැප්තැම්බර් මස අග වන විට ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය බැඳී සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ මිල ගණන් තවදුරටත් පහළ ගියහොත් පමණක් එම සහනය ජනතාවට ලබාදීම පිළිබඳව සලකා බැලිය හැකි බවත්, බාහිර සාධක මත මිල ගණන් අනපේක්ෂිත ලෙස ඉහළ ගියහොත් ඒ සඳහා මැදිහත් වීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: