hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2026 ජූනි 23, පෙ.ව. 12:26



ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණ ද, එහි වාසිය මෙරට පාරිභෝගිකයන්ට වහාම ලබා දීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවති යුදමය වාතාවරණය සමනය කරගැනීම සඳහා මූලික එකඟතාවකට පැමිණීමත් සමඟ, ගෝලීය තෙල් මිල පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වූ අවම අගය දක්වා පහත වැටුණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගැනීමේදී මාසික අනුමැතියන් මත පදනම් වන බැවින්, ලෝක වෙළඳපොළේ මිල අඩු වීමේ වාසිය මෙරටට හිමිවනුයේ අගෝස්තු මාසයෙන් පසු සිදු කෙරෙන නව ඇණවුම්වලදී පමණක් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ අතර QR කේත ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.

දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් සීමාවේ රඳවා ගැනීමට සිදුවනු ඇත.

පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා අදාළ මණ්ඩලය විසින් රුපියල් බිලියන 47ක මුදලක් අනුමත කර තිබේ.

මීට පෙර ඉන්ධන සහනාධාර සැපයීම වෙනුවෙන් පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී රුපියල් බිලියන 19ක් අනුමත කර තිබූ අතර, මැයි සහ ජුනි මාස සඳහා ද අවශ්‍ය පියවර ගෙන ඇත.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට සංස්ථාව ලබාදුන් විවිධ සහනාධාර හේතුවෙන් රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවයි.

සංස්ථාව දැනටමත් විශාල සහන ප්‍රමාණයක් ජනතාවට සලසා ඇති බැවින්, මෙම අවස්ථාවේදී මිල අඩු කිරීමක් සිදු කළහොත් එමඟින් දැනට ලබාදෙන සහන පවා අහිමි වීමේ අවදානමක් පවතින බව සභාපතිවරයා අවධාරණය කළේය.

පිරිපහදු කළ තෙල් මෙන්ම අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ද මෙම තත්ත්වය එකලෙස බලපාන බැවින්, ඉදිරියේදී මිලෙහි අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: