hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2026 ජූලි 26, පෙ.ව. 12:02



ඉන්දු – ලංකා ගිවිසුමට ජනතා විමුක්ති පෙරමුණ එදා විරුද්ධ වූයේ ඉන්දියාවට ඇති විරුද්ධත්වයක් හෝ දෙමළ, මුස්ලිම් ජනතාවට ඇති විරුද්ධත්වයක් නිසා නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එම ගිවිසුම සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරටට ගෙන ආවේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවතකින් තොරව, බලහත්කාරයෙන් බවයි.

මෙහිදී අමාත්‍යවරයා 1987 ඔක්තෝබර් 08 වන දින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහා සම්මේලනයේදී එහි නිර්තෘ එම්.එච්.එම්. අෂ්රෆ් මහතා කළ ප්‍රකාශයක් ද සිහිපත් කළේය. උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම හරහා නැගෙනහිර වෙසෙන මුස්ලිම් ජනතාව “සුළුතරයක් ඇතුළේ තවත් සුළුතරයක්” (Minority within a minority) බවට පත්වන බවත්, දෙමළ සන්නද්ධ කණ්ඩායම් සහ රජය අතර පවතින බල අරගලයේදී මුස්ලිම් ජනතාවගේ දේශපාලන අනන්‍යතාවය අහෝසි වන බවත් අෂ්රෆ් මහතා එදා අනාවැකි පළ කර තිබූ බව බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේය.

සිංහල නායකයින් සිංහල ජනතාවටත්, දෙමළ නායකයින් දෙමළ ජනතාවටත්, මුස්ලිම් නායකයින් මුස්ලිම් ජනතාවටත් සලකනවා යන්න විශාල මිථ්‍යාවක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

“2022 දී රට බංකොලොත් කරලා සිංහල ජනතාව පීඩාවට පත් කළේ රාජපක්ෂලා. 89 දී වැඩිපුරම සිංහල තරුණයෝ මැරුවේ ප්‍රේමදාසලා. ඒ නිසා ජාතිය අනුව ජනතාවට සලකනවා කියන එක බොරුවක්,” යැයි ඔහු පැවසීය.

1983 කළු ජූලිය සහ කුට්ටුමනී වැනි සිරකරුවන් ඝාතනය කිරීමේ වගකීම එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සතු බවත්, එම රජය තවත් වසර 11ක් බලයේ සිටි නිසා සැබෑ මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අතීතයේ සිදු වූ මෙවැනි අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් නිසා අදටත් රට විවිධ අර්බුදවලට මුහුණ දෙන බවත්, නව පරපුරට සත්‍ය ඉතිහාසය වටහා දීම වැදගත් බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: