hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, පෙ.ව. 12:04



උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල්වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ බස්නාහිර පළාතේ පාසල්වල විශාල වශයෙන් ගුරු හිඟයක් පවතින බවයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ රැකිය විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

කතානායක, මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)- උපාධිධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරනවා. උපාධිධාරීන් බඳවා ගැනීමට එරෙහිව යම් යම් කණ්ඩායම් පසුගිය කාලේ උසාවි ගියා. පාසල්වල ගුරු හිඟයක් ඇති වුණේ ඒ නිසයි. මේ ගුරු හිඟය වැඩියෙන්ම තියෙන්නේ බස්නාහිර පළාතේ. ගුරු විභාගයක් පවත්වල බස්නාහිර පළාතට ගුරුවරුන් බඳවා ගත්තත් විෂයානු බද්ධව බඳවාගැනීම් සිදුකෙරෙන කොට සමහරුන් අත්හැරිලා තිබෙනවා.

ආණ්ඩුකාරතුමන් එක්ක සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් අපි තීන්දු තීරණ ගත්තා. බස්නාහිර පළාතේ පුරප්පාඩුවලට වඩා උපාධිධාරීන් වැඩියි. විභාගයක් පවත්වන්න වුනේ ඒ නිසයි. නමුත් වෙනත් පළාත් වල එහෙම තත්ත්වයක් නැහැ.

මම පළාත් මහ ඇමතිවිදියට වැඩ කරද්දි අපි විභාග තියල උපාධිධාරීන් බඳවාගත්තා. ඊළඟට ඉන්න උපාධිධාරීන් ස්වේච්ඡාවෙන් පාසල්වල උගන්වන්න ආවා. ඒ අය ඒක පුහුණුවක් විදියට ගත්තා. ඒ නිසා දැන් ගොඩාක් දුරට බස්නාහිර පළාතේ ප්‍රශ්නය විසඳිලා. නමුත් උපාධිධාරීන් දැන් වැඩිවෙලා. ඒ නිසා දිසාපතිවරුන් දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒ අයගෙ තොරතුරු ලබාගත්තා. මම සුසිල් ඇමතිතුමාත් එක්ක කතා කළා මේ ගැනඅපි යෝජනා කරල තියෙන්නේ වයස අවුරුදු 45ට අඩු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදෙන්න කියල.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර (ස.ජ.බ)- ගරු කතානායකතුමනි, පාසල්වල අධ්‍යාපනය ලබාදෙන උපාධිධාරීන් පිලිබඳව කතා කළා වගේම අපි සමස්ත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳවම කතා කරන්න ඕන. සුසිල් ප්‍රේමජයන්ත  ඇමතිතුමත් සඳහන් කළා වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවස්ථා දෙකකදී සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදුන්නා. මේ පත්වීම් ලබාදෙන කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එක පුටුවේ දෙතුන් දෙනා වාඩිවෙලා ඉන්නවා. එතකොට රජයේ අනුමත කාර්ය මණ්ඩල පිළිබඳව තැකීමක් නොකර තමයි මේ පත්වීම් දුන්නේ. ඒ නිසා ලක්ෂ 17ක් දක්වා රාජ්‍ය සේවකයන් ඉහළට ගියා.

අපේ රටේ ලක්ෂ 10ක පමණ රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් මේ අවශ්‍ය කටයුතු ටික කරගන්න පුළුවන් බව කළමනාකරණ සේවා කොමිසම පවසනවා. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කරනවා තමන්ට බලය ලැබුනොත් ඉදිරියේදී  සියලුම උපාධිධාරීන්ට රැකියා දෙනවද? නැද්ද? කියල විපක්ෂ නායකතුමාගෙන් මම දැනගන්න කැමතියි. ඒ ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරනවාද? එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවට හෝ ඒ ගැන කියන්න කියල මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: