hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, පෙ.ව. 12:12



මෙරට පුරා විවිධ ස්ථානයන්හි සිඟමන් යදින බාල වයස්කාර වීදි දරුවන්ගේ සංඛ්‍යාව තිස් දහසක් පමණ වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාන හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසයි.                                                                                     

ඒ මහතා සඳහන් කරන්නේ මෙරට විවිධ ප්‍රදේශවල සිදු කළ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු මගින් මෙම තත්ත්වය තහවුරුව පවතින බවය.                                                                                                          

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ  මහාචාර්යවරයා මෙසේද සඳහන් කළා.

“මේක ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. ඒ වගේම අනාගතයට බලපාන ප්‍රශ්නයක්. මේ දරුවන් පිළිබඳ රජයට නිවැරදි දත්ත පද්ධතියක් නෑ. නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ වගකීම රජයට තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් වීදි දරුවන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවෙලා තවදුරටත් මත්ද්‍රව්‍ය  භාවිතය, අලෙවිය, සොරකම්, වංචා, ලිංගික අපචාර වැනි අපරාධ විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්.”

මෙම අධ්‍යයන කටයුතු වලින් හෙළිව ඇත්තේ මවුපියන් හෝ තාවකාලික භාරකරුවන් මෙම කුඩා දරුවන් සිඟමනේ යෙදීවීමට මෙන්ම වෙනත් මුදල් ඉපයීමේ කටයුතු සඳහා යෙදීවීමටද පියවර ගන්නා බවය.

ජනාකීර්ණ නගර, සිද්ධස්ථාන වැනි ස්ථාන කේන්ද්‍ර කොට තනිවම හෝ වැඩිහිටියන් සමග සිඟමන් යදින වයස අවුරුදු 04 – 15  අතර දරුවන් බහුතරයක් පාසල් නොයන බවත් ඇතැම් දෙමව්පියන්  මෙම දරුවන්  විවිධ කුලී වැඩ  මෙන්ම වීදි වෙළඳාම් වැනි කටයුතු සඳහා යොදවන බවද මෙම බහුතර දෙමව්පියෝ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බැවින් මෙම ඇතැම් දරුවන් මත්ද්රව්ය භාවිතයට මෙන්ම වංචා, සොරකම්, ලිංගික අපචාර ආදියටද ඇබ්බැහි වී සිටින බවද එම පර්යේෂණ මගින් හෙළිව තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් සිදු කළ විමසීමකදී පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම තත්ත්වය පිළිබඳව පොලිසිය දැනුවත්ව සිටින බවය.

තවදුරටත් අදහස් පළ කළ පොලිස්පතිවරයා මෙසේද සඳහන් කළා.

“මේ ඇතැම් දරුවන් පොලිසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් ප්‍රධාන ගැටලුව වෙන්නේ මේ බාල වයස්කාර දරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තැබීම සඳහා නිසියාකාර ආරක්ෂිත ස්ථානයක් නොමැති වීමයි. යාචකයන් අත්අඩංගුවට ගෙන රඳවා තබන සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත්  රිදීගම කඳවුර මේ වන විට පිරී ඉතිරී ගොස් තිබෙනවා. මේ තත්ත්වය අනුව වීදි දරුවන් අධිකරණයට දාලා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පලක් වෙන්නේ නෑ. මේ ළමයි දීර්ඝ කාලීන පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතුයි. ඒ සඳහා  ඉඩකඩ සහිත සුදුසු ස්ථානයක් නෑ. මෙහෙයුමක් දියත් කරලා රට පුරා සිඟමනේ යෙදෙන බාල වයස්කාර දරුවන් පොලිසිය භාරයට ගන්න පුළුවන්. නමුත් එහෙම අරගෙන පුනරුත්ථාපනය කිරීම සඳහා සුදුසු ස්ථානයක් තිබෙනවා නම් මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න සූදානම්. මේ අය වැඩිහිටි රැඳවියන් සිටින කඳවුරක කිසිසේත්ම රඳවා තබන්න බෑ. වගකිවයුතු ආයතන  සියල්ල එක්ව මේ සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම වඩා යහපත්. කෙසේ වුවද මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවධානය යොමු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: