2026 ජූලි 07, පෙ.ව. 12:14
සී/ස ලංකා නැව් සංස්ථාව (Ceylon Shipping Corporation Limited) සතු අනුබද්ධ සහ ආශ්‍රිත සමාගම් 6ක රුපියල් මිලියන 630ක මුදලක් ආයෝජනය කර තිබුණ ද, ඒ වෙනුවෙන් වාර්ෂිකව ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 4ක වැනි ඉතා සුළු ලාභාංශයක් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.
ලංකා නැව් සංස්ථාවේ 2021, 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරික්ෂා කිරීම සඳහා COPE කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
සංස්ථාව විසින් 2024 – 2027 කාලසීමාව සඳහා සකස් කර ඇති සංයුක්ත සැලැස්ම (Corporate Plan) ප්‍රායෝගික නොවන එකක් බව කමිටුව පෙන්වා දුන්නේය.එය ආයතනයේ මෙහෙයුම් සඳහා මාර්ගෝපදේශයක් ලෙස නොව, හුදෙක් පරිපාලන අවශ්‍යතා සපුරාලීමට පමණක් කළ එකක් බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම, සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන විධායක තනතුරු රැසක් දිගු කලක් තිස්සේ ‘වැඩබැලීමේ’ පදනම මත පවත්වාගෙන යාම නිසා ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය බරපතළ ලෙස දුර්වල වී තිබේ.
2016 වසරේදී නෞකා දෙකක් මිල දී ගැනීම වෙනුවෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 70ක ණය මුදලින් ඩොලර් මිලියන 47ක් තවමත් ගෙවීමට ඉතිරිව ඇත. ණය වාරික ගෙවීම ප්‍රමාද වීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ද සිදුව තිබේ. මීට අමතරව, නෞකාවල ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ නඩත්තු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඉහළ ආදායම් ලැබීමේ අවස්ථා සංස්ථාවට අහිමි වී ගොස් ඇත.
“සිලෝන් බ්‍රීස්” නෞකාවේ ලිහිසි තෙල් ලීටර් 1,852ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බව කමිටුවේදී හෙළි විය. එමෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ ව්‍යාපෘතියකදී රුපියල් මිලියන 1.4ක අලාභයක් සිදුව ඇති අතර, තවත් රුපියල් මිලියන 6.3ක මුදලක් අය කර ගැනීමට ආයතනය අසමත් වී ඇත.
නෞකා වාණිජ කළමනාකරණය සඳහා සිංගප්පූරුවේ Wallem Shipping සමාගම සමඟ 2016 සිට ක්‍රියාත්මක වන ගිවිසුම මඟින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නැව් සංස්ථාව අසමත් වී තිබේ. අදාළ සමාගම ඉලක්ක සපුරා නොමැති වුවද, ඔවුන්ට දඬුවම් පැමිණවිය හැකි වගන්ති ගිවිසුමට ඇතුළත් නොවීම බරපතළ අඩුපාඩුවක් බව කමිටුව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම සමාගම සමඟ පවතින ගිවිසුම 2026 සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිත අතර, ඉන් පසුව අතරමැදි සමාගම්වලින් ඉවත් වී රජයේ ලියාපදිංචි සෘජු තැරැව්කරුවන් හයදෙනෙකු හරහා වාණිජ මෙහෙයුම් සිදු කිරීමට නව සැලැස්මක් සහ කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. නව ක්‍රමවේදය හරහා කොමිස් මුදල් ඉතිරි කර ගැනීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජු සබඳතා ඇති කර ගැනීමටත් අපේක්ෂිතය.
ලංකා නැව් සංස්ථාව මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරන ලෙසත්, අනවශ්‍ය වියදම් වහාම කපා හරින ලෙසත් කමිටුව නියෝග කළේය. එමෙන්ම, අනාවරණය වූ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍යතාව පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා විධිමත් විමර්ශන පවත්වන ලෙස COPE කමිටුව අවසානයේ නිර්දේශ කරන ලදී.
2026 ජූලි 07, පෙ.ව. 12:37
2026 ජූලි 07, පෙ.ව. 12:24
2026 ජූලි 07, පෙ.ව. 12:16
2026 ජූලි 07, පෙ.ව. 12:13
2026 ජූලි 07, පෙ.ව. 12:10
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26