hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 17, පෙ.ව. 9:56



අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (16) දැනුම් දෙනු ලැබුවා.

නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ, අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන අයුරින් දේශන කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගත් කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරුගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකු වෛද්‍යවරුන් බව අනාවරණය වී ඇති බවයි.

එම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දන්වා සිටියා.

මෙම සැකකරුට විදේශ රටවල වෙසෙන ඔහුගේ අනුගාමිකයන්ගෙන් සහ මෙරට පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි දන්වා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වන බවද අධිකරණයට දන්වා සිටිනවා.

අදාළ නඩුව විභාග වන අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි බෝධිසත්වයකු ලෙස හඳුන්වා ගන්නා සැකකරුගේ ඉරියව් මහෙස්ත්‍රාත්වරයාගේ දැඩි නිරීක්ෂණයට ලක් වී තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම නඩුව විභාග වන අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි සැකකරු ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අංගතුලාවන් අධිකරණයේ අවධානයට යොමු වුණා.

ඒ තුළින් පැහැදිලි වනුයේ සැකකරු මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙන බවයි.මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව අධිකරණය නිරීක්ෂණය කළ බවයි.

සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 24 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළා.

සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාරය මගින් අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා අංගොඩ මානසික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ, සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා දෙන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: