hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 18, පෙ.ව. 12:04



රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බව රජය පවසනවා.

ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ලසන්ත අලගියවන්න මහතා තවදුරටත් පෙන්වා දුන්නේ රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා,

“පවතින මෝටර් රථ පනත සංශෝධනය කර නව පනතක් ගෙන ඒමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වන වේග සීමා ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරමින් පවතිනවා. තවද රියදුරන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ බීමත් රියදුරන් හඳුනා ගැනීම පමණයි. නමුත් මේ වසරේ සිට මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රටපුරා ක්‍රියාවට නංවා තිබෙනවා. එහි මූලික අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කෙරුණා.”

“අප රටේ වාහන මිලියන 8.9ක් පමණ භාවිත වෙනවා. එලෙසම රියදුරන් ලක්ෂ 85ක් පමණ රියදුරු බලපත්‍රය ලබාගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නිකුත් කරන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: