hit counter

2026 මැයි මස 30 වන සෙනසුරාදා

2026 මැයි 31, පෙ.ව. 12:19



ආන්දෝලනාත්මක ඊ-විදේශගමන් බලපත්‍ර (e-passport) ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා පවසනවා.

ඒ අනුව, ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා විසින් 2026 මැයි 29 වැනිදා විද්‍යුත් තැපෑල (Email) මාර්ගයෙන් අදාළ ලංසුකරුවන් වෙත මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි අජිත් පෙරේරා සඳහන් කළේ.

එම ලිපියේ දැක්වෙන්නේ, “ඉහත සඳහන් කළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නියෝග කර ඇති බව මෙයින් නිල වශයෙන් දැනුම් දෙමු” යනුවෙනුයි.

මෙම කොන්ත්‍රාත්තුව DIE/PRO/PKI/2025 ලංසු අංකය යටතේ “ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ඊ-විදේශගමන් බලපත්‍ර පුද්ගලීකරණය කිරීමේ නිකුත් කිරීමේ පද්ධතිය සහ අදාළ පොදු යතුරු යටිතල පහසුකම් සංරචක” (Issuance System and Relevant Public Key Infrastructure Components for Personalization of E-Passports) ලෙස නම් කර තිබුණා. මෙම ප්‍රසම්පාදනය සඳහා ලංසු කැඳවීම සිදුකර තිබුණේ පසුගිය වසරේදීයි.

කෙසේ වෙතත්, ලංසු දිනා ගැනීමට අපොහොසත් වූ ලංසුකරුවන් සිව්දෙනෙකු විසින් 2026 ජනවාරි 2 වැනිදා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත ඉදිරිපත් කරන ලද අභියාචනාවලින් අනතුරුව මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත සමාලෝචනයට ලක් කෙරුණා. එම අභියාචනා 2026 ජනවාරි 6 වැනිදා විභාගයට ගත් අතර, ඊට අදාළ නිර්දේශ මාලාවක් මේ වන විට අදාළ බලධාරීන්ගේ අවධානයට යොමුව තිබෙනවා.

මැයි 29 වැනි දිනැති එම ලිපිය මඟින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන්, ඔබගේ ලංසුව සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා ඔබගේ ආයතනය වැය කළ කාලය, ශ්‍රමය සහ සම්පත් පිළිබඳව අපගේ අවංක ඇගයීම ප්‍රකාශ කර සිටිමු. අප දෙපාර්තමේන්තුව සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට සහ මෙම රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට දායක වීමට ඔබ දැක්වූ උනන්දුව අපි බෙහෙවින් අගය කරමු” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: