hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2026 ජූනි 11, පෙ.ව. 12:17



 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අන්වර්ථ නාම පහක් (05) භාවිතා කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත්, එම නම් පිටුපස සිටින සැබෑ පුද්ගලයින් කවුරුන්ද යන්න නොබෝ දිනකින් රටටම හෙළිදරව් කරන බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.

සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම අන්වර්ථ නාම අතරින් “සොනික්” යන නාමය පිළිබඳව මීට පෙර පාර්ලිමේන්තුවේදී පවා සාකච්ඡා වී ඇති බවයි. 

තවත් අන්වර්ථ නාම හතරක් පිළිබඳ තොරතුරු විමර්ශන කණ්ඩායම් සතුව පවතින බවත්, ඒවා විමර්ශන කටයුතුවලට අදාළ බැවින් වැඩිදුර තොරතුරු මේ මොහොතේ අනාවරණය කළ නොහැකි බවත් ඔහු පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් වටගල මහතා සඳහන් කළේ, ජාතික ජන බලවේගය මැතිවරණ සමයේ ලබාදුන් දේශපාලන පොරොන්දුව පරිදි මහමොළකරු සොයා ගැනීමේ විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. 

අතීතයේ සිදු නොවූ ආකාරයේ සාධාරණ විමර්ශනයක් සිදු කර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම රජයේ ප්‍රමුඛතම අපේක්ෂාව බව ඔහු අවධාරණය කළේය.

විපක්ෂය විසින් මෙම විමර්ශන ක්‍රියාවලියට විවිධ බාධා එල්ල කළද, ස්වාධීන ආයතන හරහා සිදු කෙරෙන මෙම පරීක්ෂණ කිසිදු ලෙසකින් නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

බුද්ධි වාර්තා සහ නව විමර්ශන තොරතුරු මත පදනම්ව මෙම ගමන ඉදිරියටම යන බවත්, අදාළ අන්වර්ථ නාමවලින් පෙනී සිටි පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: