hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 9:23



අමාත්‍යාංශ කිහිපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති, නාගරික සංවර්ධන හා නිවාස, ප්‍රවාහන හා මහා මාර්ග, වැවිලි කර්මාන්ත, කෘෂිකර්ම, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශවල විෂයයන් මෙසේ සංශෝධනය කර ඇත.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ඇතුළත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශීර්ෂය යටතේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ විෂය පථය යටතේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මෙතෙක් කල් පැවැතුණා.

එසේ ම, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ශීර්ෂය යටතේ පැවති ත්‍රිපෝෂ සහ සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු රට තුළ වගා කිරීම සඳහා කටයුතු කිරීම යන අයිතමය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයට පුනරුත්ථාපන කාර්යාංශය පනත ඇතුළත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශීර්ෂය යටතේ පැවැති උචිත තාක්ෂණය උපයෝගි කර ගනිමින් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන අයිතමය ඉවත් කර තිබෙන අතර එම අමාත්‍යාංශයේ විෂය පථයට පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත ඇතුළත් කර ඇත.

බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය සහ අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත ඇතුළත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: