hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 03, පෙ.ව. 12:08



පළාත් පාලන ආයතනවල අඛණ්ඩව දින එකසිය අසූවක් ඉක්මවා සේවය කළ තාවකාලිකව, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම යටතේ බඳවා ගත් සේවකයින් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත්කර තිබෙනවා.

පසුගිය වසරේ (2023) අගෝස්තු 29 වැනි දිනට අඛණ්ඩව දින එකසිය අසූවක් ඉක්මවා සේවයේ යෙදී සිටින ගණන අටදහස් හාරසිය තිස්පස් දෙනෙක් බවයි වාර්තා වන්නේ.

එම සේවකයින්ට සේවා ස්ථිරත්වය ලබාදීම සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රත්පත්ති රාජ්‍ය ඇමැති සහ එහි ලේකම්වරයා අතර සාකච්ඡාවක් පසුගිය ජනවාරි 18 වැනිදා පවත්වා තිබුණා.

මෙහිදී සාකච්ඡා වී තිබෙන්නේ, පළාත් පාලන ආයතනවල මාර්ග නඩත්තු කටයුතු, කසළ අපහරණ කටයුතු, පුස්තකාල සේවා සහ කාර්යාල කාර්ය සහයක කටයුතුවල යෙදෙන මෙම පිරිසගේ සේවය අඛණ්ඩව සේවා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ඔවුන්ට සේවා ස්ථිරත්වයදීම සාධාරණ බවයි.

එමෙන්ම මෙම පිරිස ස්ථිර කළ පසු මහා භාණ්ඩාගාරයට වන වැය බර යම් පමණකට පළාත් පාලන ආයතන වෙත දරා ගැනීමට ඇති හැකියාව පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබුණි.

ස්වයං උත්පාදන ආදායම් ඉහළ මට්ටමක පවතින පළාත් පාලන ආයතන සඳහා එම ආදායම්වලින් ගෙවීමේ පදනම මත ඔවුන්ට සේවා ස්ථිරත්වය ලබාදීමට තීරණය වී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව මහ නගර සභා 24, නගර සභා 41 සහ ප්‍රාදේශීය සභා 117හි සේවකයන් 6678 සඳහා සභා අරමුදල් මගින් වැටුප් හා දීමනා ගෙවීමේ පදනම මත සහ අඩු ආදායම්ලාභී සභා 159 හි සේවකයින් 1757 සඳහා මහ භාණ්ඩාගාරය මගින් වැටුප් හා දීමනා ගෙවීමේ පදනම මත සේවා ස්ථිරත්වය ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ්‍ය විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: