hit counter

2026 නොවැම්‍බර් මස 08 වන ඉරිදා

2026 නොවැම්‍බර් 09, පෙ.ව. 12:37



වසර පනහක පමණ කාලයක් තිස්සේ රට පාලනය කළ පෙර ආණ්ඩු විසින් නිසි පරිදි සිදු නොකර පැහැර හරින ලද සංවර්ධන කටයුතු, වත්මන් පාලනය යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයකදී බලාපොරොත්තු වීම සාධාරණ නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 76ක කාලයක් පුරා රට පාලනය කළ පාර්ශ්වයන්ගෙන් සංවර්ධනය සිදු වූයේදැයි ප්‍රශ්න කළ යුතු බවත්, පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය.

කොළඹ නගරයේ උද්ගතව ඇති ජල ගැලීම් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ හර්ෂණ නානායක්කාර මහතා, කොළඹ පවතින කාණු සහ අපවහන පද්ධති නිර්මාණය කර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර පැවති පැරණි කාලගුණික රටාවන්ට අනුකූලව බව පෙන්වා දුන්නේය. 

දේශගුණික විපර්යාස හමුවේ ඇදහැලෙන අධික වර්ෂාව මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවත්, කොළඹ නගරය ජලයෙන් යටවීම පළමු වරට සිදුවූ සිදුවීමක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම ගැටලුව විසඳීමට ගතවන කාලය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ඒ පිළිබඳව විමසිය යුත්තේ කොළඹ නගරාධිපතිවරයාගෙන් බවත්, ජනතා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් නගරාධිපතිවරුන් ඇතුළු කිසිදු තරාතිරමක අයෙකු රජය විසින් තනතුරුවල තබා නොගන්නා බවත් තරයේ ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: