hit counter

2026 නොවැම්‍බර් මස 08 වන ඉරිදා

2026 නොවැම්‍බර් 09, පෙ.ව. 12:25



2027 වර්ෂය වෙනුවෙන් වන සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඒ පහත පරිදීයි,

බුද්ධ වර්ෂ 2570 2027 සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 09 වන සිකුරාදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 07 වන සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන බදාදා දින අපරභාග 03.29 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන බදාදා පූර්වභාග 9.05 සිට එදින අපරභාග 9.53 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බදාදා පූර්වභාග 9.05 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදිම ද පුණ්‍ය කාලයේ අපර කොටස ; එනම් අප්‍රේල් මස 14 වන බදාදා අපරභාග . 3.29 සිට එම දා අපරභාග 9.53 දක්වා පහත දැක්වෙන අයුරින් අහාර පිසීම , වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන බදාදා අපරභාග 6.18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් ද කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි . වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වන බදාදා අපරභාග 8.18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.04 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා නුගපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 21 වන බදාදා පූර්වභාග 6.15 ට කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 22 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 11.38 ට කහ / රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.

කෙසේ වෙතත් ඉහත නැකත් වේලාවන් දැනට සම්මත ඔරලෝසු වේලාවෙන් සකස්කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු ජාතික නැකත් කමිටුව විසින් බවත් මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස් ව භාවිත කළ හැකි බවත් වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: