hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2026 අගෝස්‍තු 20, පෙ.ව. 12:06



පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීමෙන් බොහෝ රෝග වැලඳීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් සමේ කුෂ්ඨ ඇතිවීම, මස්පිඩු පෙරළීම මෙන්ම අධික රශ්මියට නිරාවරණය වීම නිසා ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

කුඩා දරුවන්, වැඩිහිටියන්, බෝ නොවන හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මෙන්ම එළිමහනේ සේවය කරන සහ කෘෂිකර්මාන්තයේ නියැළෙන පිරිස් මෙහි වැඩිම අවදානම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සෞඛ්‍ය ගැටලු අවම කරගැනීම සඳහා පූර්වාරක්ෂිත පියවර රැසක් අනුගමනය කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම පෙළවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වූ කාලසීමාව තුළ අධික හිරු රශ්මියට නිරාවරණය නොවීම ඉතා වැදගත් වන අතර, සම වියළීම වැළැක්වීමට නිතර උණු කර නිවාගත් ජලය පානය කළ යුතුය.

ලා පැහැති ඇඳුම් ඇඳීම, හිස ආවරණය කිරීම සඳහා තොප්පි හෝ කුඩ භාවිත කිරීම, ප්‍රමිතිගත සමේ ආලේපන භාවිතය සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් තමන්ට නියමිත ඖෂධ නිසි මාත්‍රාවෙන් ලබාගැනීම ද මෙහිදී අත්‍යවශ්‍ය කරුණු ලෙස පෙන්වා දෙයි.

එමෙන්ම පාසල් ළමුන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව පියවර ගෙන ඇති බවත්, පාසල් ඇරෙන වේලාවට දරුවන්ට හිස් ආවරණ හෝ කුඩ භාවිත කරවන ලෙසත්, අනවශ්‍ය ලෙස එළිමහනේ සෙල්ලම් කිරීම සීමා කර සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීමට උපදෙස් දෙන ලෙසත් ඇය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියාය.

පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන සමඟ එක්ව දැනටමත් කටයුතු කරමින් සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: