hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 11, පෙ.ව. 10:09



ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ අනුව කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනතට අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ කැනඩාවේ තිබෙන වත්කම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලබන බවත් ආගමන හා සරණාගත ආරක්ෂණ පනත ප්‍රකාරව මින් පසු කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් කඩවීම පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියත් ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් ගෙන ඇත්තේ අර්ථවත් සීමිත ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් බවත් එම නිසාවෙන් මෙසේ සම්බාධක පනවන බවත් එම නිවේදනයේ සඳහන්.

මානව හිමිකම් කඩ වූවන්ට යුක්තිය ලබාදිය යුතු බවත් මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබා දීම කැනඩාව පිළි නොගන්නා බවත් පැහැදිලි පණිවිඩයක් ලබා දෙන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: