hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 07, ප.ව. 3:25



සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි ප්‍රශ්ණ කර සිටින බවත්, බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්ද. කිසිවෙක් මේ පිළිබඳ තොරතුරු එළියට ලබා දුන්නේද යන්න පිළිබඳ අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වුවා.

“සීනි වංචාව ගැන අපි එදා හඬ නැගුවා වගේම අදත් වංචාවක් වෙනවා නම් හඬ නගන්න කටයුතු කරනවා. අපි වංචාවක්, වැරැද්දක් වෙන තැනක කට වහගෙන ඉන්නේ නැහැ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය අපි හොයලා බැලිය යුතුයි. සීනි ලංකාවට ගොඩ බාන්න සූදානම් කරලා තියෙද්දී හෝ ගොඩ බෑවට පස්සේ බද්ද වැඩි කළාද කියන ප්‍රශ්නය තියෙනවා.ඒත් මෙතන තියෙන සෑබෑම ප්‍රශ්නය වෙන්නේ සීනි බදු වැඩි කරනවා කියන ආරංචිය ව්‍යාපාරිකයින්ට යන්නේ කොහොමද කියන කාරණයයි. මේ බද්ද වෙනස් වෙනවා කියන කාරණය කැබිනට් එක්ටවත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක දන්නේ රේගුවේ අයයි. එතකොටම මේක කොහෙන්ද එළියට ගිහින් තියෙන්නේ ?අපි අයවැවෙන් පඩි වැඩිකරන් සූදානම් වෙනකෙට ඒ තොරතුරු එළියට යනවා. ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා පඩි වැඩි කරන්න කියලා.

ඒ වගේම බද්ද පනවන්න යනවා කියන කොටම ටක්ගාලා බඩු ටික ගේනවා. බද්දක් අඩුකරන්න සූදානම් වෙනකොට බඩු ටික හංගා ගන්නවා. එතකොට මේ සේරම තොරතුරු යන්නේ කොහෙන්ද ? මේවා කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි එළියට යන්නේ. මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. එහිදී මේ සීනි බදු වැඩි කිරීම ගැන කවුරු හරි දැනන් හටියාද? මේ තොරතුරු එළියට කිව්වාද ? කියන කාරණා ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. කණ්ඩායමක් මේ බදුවල සිදුවෙන වෙනස්කම් වලින් ආදායම් හොයන්න කටයුතු කරනවා. ඒ නිසාමයි ජනාධිපතිතුමා සීනි වලට උපරිම සිල්ලර මිලක් දැම්මේ. ඒ තීරණයත් එක්ක මේ බදු වැඩි කිරීමෙන් අයුතු ලාභ ලබන්න බැරිවෙනවා.

අද මේ රටේ තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ හැමෝම ඉන්නවා. කාටවත් මේ ආණ්ඩුව පොදු ජන පෙරමුනේද, එක්සත් ජාතික පක්ෂයේද සමගි ජන බලවේගයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කියලා කියන්න බැහැ මොකද මේ හැමෝම වර්තමාන ආණ්ඩුවේ ඉන්නවා.මේ ආණ්ඩුව හැදුනේ රටේ මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවෙයි. මේ ආණ්ඩුව තමයි රටේ මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඔවුන්ව ගොඩගත්තේ.බඩු මිල වැඩි වෙලා තියෙනවා, ගෑස් මිල වැඩි වෙලා තියෙනවා, විදුලි බිල වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ වැඩි කරලා තියෙන්නේ මේ විදිහට හරි තෙල් ටික, ගෑස් ටික දීලා ණය ප්‍රතිව්‍යුහගතකරණයට යන්නයි. අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැත්තම් අපිට දිගටම බංකොලොත් රටක් විදිහටයි ඉන්න වෙන්නේ.

එහෙම වුනොත් තවදුරටත් අපේ රටට සල්ලි කීයක්වත් ගේන්න ලැබෙන්නේ නැහැ. තව මාස තුන හතරකට පස්සේ රටේ ප්‍රතිව්‍යුහගතකරණය වුනාට පස්සේ, ලංකාවට ආයෝජකයින් එන්න පටන් ගන්නවා, ව්‍යාපාර දියුණු වෙනවා. එතකොට මිල අඩු කිරීම කෙසේ වෙතත් හැම දෙනාගේම අතේ සල්ලි ගැවසීම වැඩි වෙනවා.අපි රාජ්‍ය ආයතන කිසිවක් පාඩුවට දුවන්න ඉඩ දෙන්නේ නැහැ. සියලුම ආයතන පාඩු නොලබන ආයතන බවට පත්විය යුතුයි. ඒ වගේම ජනතාවගේ අතේ සල්ලි වැඩි වෙන නිසා ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙනවා. ඒ වගේම අස්වැසුම ඔස්සේ සුබසාධන කටයුතු ලෙස රුපියල් පහලොස් දාහක් ලැබෙනවා. ඒ වැඩි කටයුතු නිසා සියලුම පාර්ශවයන් සමබර වෙනවා.

අද වෙනකොට පොලී අගය අඩුවෙලා තියෙනවා. එයින් පොඩි ව්‍යාපාරිකයාට වාසියක් වෙලා තියෙනවා. අපි කළයුත්තේ ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට තත්ත්වය ගොඩක් යහපත් අතට හැරෙයි කියලා මට කියන්න පුළුවන්.තානාපතිවරු තමන්ගේ නිල රාජකාරිය ගැන හරි අවබෝධයකින් වැඩ කරන්න ඕනේ. බහුතරයක් තානාපතිවරුන් ඉතාම හොදින් සේවය කරනවා. හැබැයි ඇතැම් අය තමන්ගේ තනතුරු ඔළුවට අරගෙන පුටු රත් කරමින් ඉන්න අවස්ථාත් තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: