hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:03



පළාත් පාලන ආයතනවල කටයුතු සඳහා රජයෙන් මුදල් දීම අත්හිටුවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

පළාත් පාලන ආයතනවල ඇතැම් නිලධාරීන්ගෙන් නිසියාකාර මහජන සේවාවක් නොවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

මෙම නිලධාරීන් සිය ගමන් වියදම්, අතිකාල දීමනා ආදිය සභාවේ මුදලින් ලබාගන්නා බවද ඔහු පැවැසුවා.

පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාවය පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගිය දිනවල සමීක්ෂණයක් කළ බවත්, මේ අනුව හොඳම මහ නගර සභාව, නගර සභාව සහ ප්‍රාදේශීය සභාව තෝරා ගැනීමට කටයුතු කරන බව ඇමැතිවරයා කීවේය. ඒ අනුව එම පළාත් පාලන ආයතන ලබන වසරේ (2024) ජනවාරි මාසයේ දී ඇගයීමකට ලක්කර ආදර්ශයක් ලබාදෙන බවද හෙතෙම පැවසුවා.

මේ අනුව පළාත් පාලන ආයතන සියල්ල ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව නිසියාකාර මහජන සේවාවක් ඉටු නොකරන පළාත් පාලන ආයතන පිළිබඳව සොයා බලා ඒවායේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් හා පුහුණුවීම් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

අඩු පහසුකම් තිබෙන පළාත් පාලන ආයතන නගා සිටුවීම සඳහා අමාත්‍යාංශයෙන් අවශ්‍ය මග පෙන්වීම හා පහසුකම් ලබා දෙන බවත්, කොළඹ මහ නගර සභාව වැනි පහසුකම් බහුල පළාත් පාලන ආයතනවලට රජයෙන් පහසුකම් අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කීවේය. දැනට පළාත් පාලන ආයතන බදු ආදායම් ලැබුවද ඒවායේ සේවක වැටුප් ගෙවන්නේ රජය විසිනි.

ඉදිරියේ දී සෑම පළාත් පාලන ආයතනයක්ම ස්වාධීනව පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීමෙන් පසුව එම ආයතන විසින්ම සිය ආදායම් සෙයාගෙන ස්වාධීනව පවත්වාගෙන යා යුතු බවද ඇමැතිවරයා සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: