hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2026 ජූනි 09, පෙ.ව. 12:13



පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් අනාථ වීම ළමා අපයෝජන ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන් බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ පසුගියදා පැවැති පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

පල්ලම ප්‍රදේශයෙන් පසුගිය මාස පහක කාලය තුළ ළමා අපයෝජන සිද්ධීන් 9ක් වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙම අපයෝජනයට ලක්වූ දරුවන්ගෙන් බහුතරයකගේ දෙමාපියන් විදේශගත වීම, මියයාම හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා දරුවන් පවුලෙන් හුදෙකලා වී ඇති බව අනාවරණය වී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය:

 “දරුවෙක් අනාථ වන විට පවුල් පසුබිමේ බලපෑම ඉතා විශාලයි. මේවා වළක්වා ගැනීමට මහජන නියෝජිතයන්, නිලධාරීන් මෙන්ම පුරවැසියන් ලෙස අප සැමට වගකීමක් තිබෙනවා,” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සඳහා රජය මේ වන විට “ඉවත්වනු” නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මෑත කාලීන වැටලීම්වලදී අයිස් සහ හෙරොයින් වැනි මාරාන්තික මත්ද්‍රව්‍ය ප්‍රදේශයෙන් හමුවී ඇති අතර, මේවා පිටුපස ඉතා සංවිධානාත්මක කණ්ඩායම් සිටින බවට අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. පොලිසියට තොරතුරු ලබාදීමට යම් බියක් හෝ අපහසුතාවක් ඇත්නම්, ඒ පිළිබඳව වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සෘජුවම දැනුම් දිය හැකි බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තරුණ කණ්ඩායම් හිස් ආවරණ (Helmets) රහිතව ගමන් කිරීම පාලනය කිරීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේම, ප්‍රදේශයේ නැවත හිස ඔසවමින් පවතින අනවසර වැලි ජාවාරම නැවැත්වීමට කැණීම්, ප්‍රවාහනය හා ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දෙන ලදී.

මෙම ගැටලු පක්ෂ, ජාති හෝ ආගම් භේදයකින් තොරව පොදුවේ විසඳා ගත යුතු සමාජ ව්‍යසනයන් බවත්, රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බවත් අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: