hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 9:36



ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වුණු ‘මුරලි 800’ චිත්‍රපටය ලබන මස 06 වැනිදා සිට ලොව පුරා තිරගත වීම අරඹනවා.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේද මෙම චිත්‍රපටය ප්‍රථම වරට සිංහල හඬකැවීම් යටතේ සිනමාහල් පුරා ප්‍රදර්ශනය වනවා.

මුත්තයියා මුරලිදරන් පිළිබඳ නිර්මාණය වූ මෙම චිත්‍රපටය පිළිබඳව මාධ්‍ය හමුවක් අද (21දා) කොළඹදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට මුත්තයියා මුරලිදරන්, 1996 ලෝක කුසලාන නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් කුෂිල් ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඉන්දියාවේදී ද්‍රවිඩ භාෂාවෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායකත්වය සපයනවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා,

‘මම මුරලිව අඳුරගත්තේ කුඩා වයසේදී,එයාගේ මැච් බලන්න ගිහිල්ලා තමයි මම ඔහු හොඳට ක්‍රීඩා කරනවා දැකලා ජාතික තලයේ ක්‍රිකට්වලට ගෙනාවේ. මුත්තයියා මුරලිදරන් අද ඉන්න තැන ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ඔහුට පන්දුව දමලා ගහනවා කියපු ඔස්ට්‍රේලියානුවන්ම පසුව ඔහුව ඔවුන්ගේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස පත් කර ගත්තා. මම දකින්නේ මේක ඔවුන්ටම වුනු සරදමක් වගෙයි.’යනුවෙන් පවසා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් කියා සිටියේ තමන් පිළිබඳ සැකසූ මෙම චිත්‍රපටය ගැන සතුටු වන බවත් අර්ජුන රණතුංග පියෙකු මෙන් තමන්ව සැමවිටම රැකගත් බවත්ය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිය අනුව විදෙස් භාෂාවක චිත්‍රපටයක් සිංහලෙන් හඬ කවා තිරගත කළ නොහැකි නමුත්එම නීතිය සංශෝධනය කරමින් මෙම චිත්‍රපටියට එම අවස්ථාව ලබාදුන් බවයි.

මුරලි ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටම වීරයෙක් නිසා එම අවස්ථාව ලබා දුන් බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: