hit counter

2026 ජූලි මස 26 වන ඉරිදා

2026 ජූලි 27, පෙ.ව. 12:24



අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ගොඩගැසීම පාලනය කර ජනතාවට කඩිනම් සහනයක් සැලසීම සඳහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අධිකරණවල නඩු ගොඩගැසීම හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාවෙන් ඔවුන් මුදා ගන්නා බවට රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව ඉටු කිරීම සඳහා අධිකරණ පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවතින සාධාරණ හේතු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“1978 වසරේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරන විට මෙරට උපතේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 66-67ක් පමණ වුණා. නමුත් අද වන විට සෞඛ්‍ය පහසුකම් දියුණු වීමත් සමඟ එය අවුරුදු 76-78 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ වෘත්තිකයන් රට හැර යාම නිසා ක්ෂේත්‍රයේ යම් පුරප්පාඩු ප්‍රමාණයක් ද පවතිනවා. මේ කරුණු සලකා බලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම කෙරෙහි රජය සාධාරණ ලෙස ඇහුම්කන් දී තිබෙනවා.”

මීට පෙර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවුවද, ඊට සාපේක්ෂව විශ්‍රාම වයස ඉහළ නැංවීමක් සිදු නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පියවර හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: