hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2026 ජූනි 30, පෙ.ව. 12:17



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනාවරණය කරන ලද ඇමරිකානු ඩොලර් බිලියනයක මහා පරිමාණ විදේශ විනිමය වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට අදාළ නියාමන ආයතන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මෙම මූල්‍ය වංචාව රටේ ආර්ථික පදනම දෙදරුම් කරවන සුළු බරපතළ සිදුවීමක් බවයි.

2024 වසරේ සිට ක්‍රියාත්මක වී ඇති මෙම වංචාව, භාණ්ඩ ආනයනය නොකර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශයන් වෙත මුදල් යැවීමේ (Phantom Imports) ජාලයක් හරහා සිදුව ඇති බව ජනාධිපතිවරයා මීට පෙර අනාවරණය කර තිබිණි.

මීට අමතරව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද තහවුරු කර ඇති පරිදි, මෙරට ව්‍යාජ සමාගම් 105ක් හරහා නීති විරෝධී ගනුදෙනු 953ක් මගින් රුපියල් බිලියන 12.89ක මුදලක් විදේශගත කර තිබේ.

මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව රවී කරුණානායක මහතා දැඩි ලෙස ප්‍රශ්න කරයි. වාණිජ බැංකු 13ක ගිණුම් 227ක් හරහා වංචනික ටෙලිග්‍රාෆ් පණිවිඩ (TT) 26,108ක් මගින් මෙතරම් දැවැන්ත මුදලක් වසර දෙකක් තිස්සේ රටින් පිටව යන තෙක් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය බුද්ධි ඒකකය නිහඬව සිටියේ මන්දැයි ඔහු සිය ලිපියෙන් විමසා සිටියි.

මෙම පද්ධතිමය බිඳවැටීම පිළිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, වංචාවට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති වාණිජ බැංකු 13හි ප්‍රධාන අනුකූලතා නිලධාරීන් වහාම කමිටුව හමුවට කැඳවන ලෙස මන්ත්‍රීවරයා යෝජනා කරයි:

ක්‍රිප්ටෝ කරන්සි වැනි නියාමනය නොකළ මූල්‍ය මෙවලම් හරහා සිදුවන බදු පැහැර හැරීම් සහ විදේශ විනිමය වංචා පිළිබඳව තමන් 2025 වසරේදී කළ අනතුරු ඇඟවීම් කෙරෙහි මහ බැංකුව නිසි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය සිදුව ඇති බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: