hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 07, ප.ව. 12:33



රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට තිත තැබීමට පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් හා හමුදා පොලිස් බලතල සහිත ආරක්ෂක කොට්ඨාසයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙය අධීක්ෂණයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ආරක්ෂක උපදේශක සාගල රත්නායක පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් විශේෂ පනතකින් මෙම විශේෂ ලේකම් කාර්යාලය ආරම්භ කිරීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය බලගන්වමින් මෙම විශේෂ කාර්යාලය ස්ථාපිත කිරීම අරමුණයි.

මේ යටතේ මත්ද්‍රව්‍ය නඩු විභාගයට සෑම දිස්ත්‍රික්කයකම වෙනමම අධිකරණ පිහිටුවීමට නියමිතයි. මෙම වැටලීම් සඳහා ඇරඹෙන විශේෂ ආරක්ෂක කොට්ඨාසයට සියයට අනූවක්ම පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින දක්ෂ නිලධාරින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

විශේෂිත පුහුණුවීම් ලබාදී නවීන තාක්ෂණයෙන් මෙන්ම වෙනමම නිල ඇඳුමකින් මෙම කොට්ඨාසයට බඳවාගන්නා සාමාජිකයන් සමන්විත කරන අතර ඔවුන්ට විශේෂිත දීමනා ලබාදීමටද නියමිතයි.

මේ යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධ මෙහෙයුම්වලටද දායක කරගැනීමටද තීරණය කර තිබෙනවා.

වැටලීම්වලට එක්වන කිසිදු නිලධාරියකු අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් නොකරන අතර ඒ සඳහා වෙනමම නිලධාරින් යෙදවන බවයි වාර්තා වන්නේ.

මෙම ආරක්ෂක කොට්ඨාසයට බඳවා ගැනීමේ දී ආරක්ෂක නිෂ්කාශන මගින් චෝදනා නොමැති නිලධාරින් තෝරා ගැනීමටත් ඔවුන්ට වෙනමම නීති පද්ධතියකට යටත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

සේවයට එක්වීමේ දී බැංකු ගිණුම් වාර්තා දේපොළ වත්කම් ඉදිරිපත් කළ යුතු අතර වාර්ෂිකව එය යාවත්කාලීන කිරීමටද තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: