hit counter

2024 ජූනි මස 28 වන සිකුරාදා

2024 ජූනි 25, පෙ.ව. 10:02



විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකීරක්ෂා ලබාදීමට, ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රීලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් Sri Lanka CERT නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වෙනවා.

අනුකාරක (Fake web) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (Social Media) වේදිකාවන්, SMS, WhatsApp, හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සාහ දරනු ඇත. ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර සඳහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය ද වැඩිවෙමින් පවතින බව  ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

තවද විවිධ ජාතික හා ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබේ.  ශ්‍රී ලංකා සර්ට් ආයතනය ඇතුළු විවිධ සංවිධාන මෙම සයිබර් වංචාවන් පිලිබඳ පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් දියත් කොට ඇත. නොදැනුවත්භාවය හා නොසලකා හැරීම නිසා මෙම අපරාධවලට ගොදුරුවන්නන්ගේ පැමිණිලි දිනපතා වැඩිවෙමින් පවතී. සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුනහොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: