hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 24, පෙ.ව. 10:10



මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවට ලක්ව වත්කම් පරීක්ෂාවකට මුහුණදී සිටින නිරූපණ ශිල්පී පියුමි හංසමාලිට අයත් එකම ව්‍යාපාරය ලෙස ඇය දක්වා ඇති LOLLIA SKIN CARE (Pvt) Ltd යන ව්‍යාපාරය සම්බන්ධ විමර්ශන කටයුතු මේවනවිට රහස් පොලිසිය අරඹා තිබෙනවා.

ව්‍යාපාරය නමින් අරඹා තිබූ බැංකු ගිණුම්, පියුමි හංසමාලි නමින්  අරඹා තිබූ ගිණුම් සහ ඇපකරුවන්ගේ නමින් අරඹා තිබූ ගිණුම් සහිත වාර්තා පොලිසියට ලැබී ඇති අතර ඇය වැලිබල් ෆිනෑන්ස් සමාගමේ ණය මුදල් ලබාගැනීමේදී තමන් සතු වත්කම් ලෙස එම වාර්තා පෙන්නුම් කර තිබෙනවා.

නිරූපිකාව සහ ඇගේ සමීපතමයන් විසින් ශ්‍රී  ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය කටයුතු එම තොරතුරු වලට සීමා නොකර මහ බැංකු දත්ත ඇසුරින්ද තහවුරු කරන්නට විමර්ශන නිලධාරීන් උත්සාහ කරමින් සිටී.

ඇය විසින් පවත්වාගෙන යනු ලබන LOLLIA SKIN CARE (Pvt) Ltd නම් ආයතනය ‘Piumiskin’ නමින් හම සුදු කරන ආලේපනයක් අලෙවි කරමින් සිටින බව පැවසේ. ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකර ඇති විමර්ශන නිලධාරීහු එම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් මේ වන විට වාර්තා ලබාගෙන තිබේ. පියුමිගේ ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් වාර්තා, ව්‍යාපාරය මඟින් සිදුකර ඇති ආනයන අපනයන සම්බන්ධයෙන්ද විමර්ශන වාර්තා ලබාගෙන ඇත.

ඇය දැනට පදිංචි කොළඹ 07, වෝඩ් පෙදෙසෙහි පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පාලක කාර්යාලය වෙත ගොස් තිබෙන රහස් පොලිසිය සමාගමේ ප්‍රධාන ගණකාධිකාරි ගෙන් ලේඛන ඉල්ලා ඇති අතර නිවෙස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීමේ කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු විමසා තිබෙනවා.

රුපියල් මිලියන 148ක මුදලකට ඇය එම නිවාස ඒකකය ලබාගත් ආකාරය ඒ අනුව වාර්තාවක් ලබාදී තිබෙනවා.

2023.04.25 දින රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ගෙවීමෙන් පසු වාර 15කින් රුපියල් මිලියන 148ක්, 2023.12.27 දින ගෙවා අවසන් කර ඇති බවත් මිලදී ගත් නිවෙසට අදාළ ඔප්පුව මේ වනතෙක් පියුමි හංසමාලි නමින් ලියාපදිංචි කර නැති බවත් විමර්ශන නිලධාරීන් තොරතුරු සොයාගෙන තිබෙනවා.

මේ වන විට පියුමිට අයත් බැංකු ගිණුම් 19 ක් පරීක්‍ෂා කිරීම් සහ ඒවාට අදාළ වාර්තා ලබාගැනීම සිදුවන බව වත්කම් විමර්ශන කොට්ඨාස ආරංචිමාර්ග කියයි.

පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු භාණ්ඩ බෙදාහරිනු ලබන බාහිර කුරියර් ආයතනයේ ප්‍රධානීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය ඉල්ලීම් කළත් තමන් එම ගනුදෙනුවලට සම්බන්ධ නැති බවත් ‘ඕඩර් කළ විට බඩු බෙදන’ සමාගමක් බවත් පවසමින් එම ප්‍රධානීන් කටඋත්තර දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නමුත් පොලිසිය පවසන්නේ ඔවුන්ගේ තොරතුරු අවශ්‍ය බවයි.

ඒ අනුව කුරියර් සමාගමේ සභාපතිවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව පොලිසිය දන්වා ඇත.

මේ අතර මෙම විමර්ශනයට අදාළව පියුමි හංසමාලිගේ ව්‍යාපාරයට සහාය දැක්වූ ප්‍රධාන ආයතනයක ඉහළ පෙළේ නිලධාරියකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඇය විසින් පවත්වාගෙන යන සම පැහැපත් කරන ක්‍රීම් වර්ගය අලෙවි කිරීමේ පෞද්ගලික ආයතනයකට සහාය වූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස ඔහුට වත්කම් විමර්ශන කොට්ඨාසය දන්වා ඇතැයිද කියයි.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: