hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 28, ප.ව. 5:24



රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතු නව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සමුළුව පසුගිය 26 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් තරුණ තරුණියන් රැසක් සහභාගී වී සිටියහ.

කෙසේවෙතත් සම්මේලනය අවසන්වීමෙන් අනතුරුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණු අතර තත්වය පාලනය කිරීම සඳහා පොලීසියද මැදිහත් විය.

තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් නොසන්සුන්ව හැසිරෙමින් චෝදනා කර සිටියේ එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවයි.

ඔවුන් වැඩිදුරටත් පැවසූවේ රුපියල් 2000/= බැගින් ලබාදෙන බවට පවසා එම පිරිස රැගෙන ආ බවත් මුදල් බෙදාදීමේදී පිරිසකට පමණක් මුදල් ලබාදී බෙදාදීම නවතා දැමූ බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (28) මාධ්‍යවේදීන් විසින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් කරුණු විමසූ අතර එහිදී දේශප්‍රිය මහතා පවසා සිටියේ එම මුදල් බෙදාදීම සිදුකරන ලද්දේ ඒ හරහා තම පක්ෂයට ඡන්දය ලබාගැනීමේ අභිලාෂයෙන් යුතුව නම් එය මැතිවරණ පනතට අනුව බරපතල වරදක් වන බවයි.

ඒ අනුව එය මන්ත්‍රී ඡන්ද පෙත්සමකට හේතු විය හැකි ගණයේ වරදක් බවත් ඉන් අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය පවා අහෝසිවීමට ඉඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: