hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 11:28



ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකීමේදී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ආරක්ෂක යාන්ත්‍රණයේ ප්‍රමුඛතම කාර්යභාරය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරයි.

”යුධ ගැටුම් නිසාවෙන් ඇති වන අහිතකර බලපෑම සහ එහි අමිහිරි මතකයන් අප සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක් තුල ඇති සුව කිරීමේ බලය ද අත්දැක ඇත්තෙමු. ඔබ ඔබේ ඉදිරි ගමනේ මීළඟ අදියරට පා තබන විට, ජාතියක් ලෙස අප අපගේ අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම් ද ඔබ සමඟ ඉදිරි දිවියට අත්දැකීමක් කර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. එපමණක් නොව සාමයේ, ස්ථාවරත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳව ද අප කිසිදා අමතක නොකරමු.”

ඔක්තොබර් (15) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මේ බව ප්‍රකාශ කළේය.

උපාධි ප්‍රදානෝත්සවයේ අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය. එහිදී ජාතික ආරක්ෂක විද්‍යාලය, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය, යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලය, නාවික සහ සාගරික විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය යන අධ්‍යයන ආයතන වලින් මුලික උපාධි, පශ්චාත් උපාධි, මෙන්ම ආචාර්ය උපාධි පාඨමාලා සම්පුර්ණ කල ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන්, දිවා විද්‍යාර්ථයින් ඇතුළු උපාධි අපේක්ෂකයින් 1,728 ක් මෙහිදී උපාධි ලබා ගත්හ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබන ආරක්ෂක ලේකම්වරයා මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා පැමිණි අවස්ථාවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 1981 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ආරම්භ කරන ලදි. අනතුරුව එය අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට තත්ත්වයෙන් උසස් කරන ලද අතර 2009 වසරේ දී සිවිල් උපාධි අපේක්ෂකයින් හටද මෙහි අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දෙන ලදි.

පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය දරණ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, අද වන විට විදෙස් රටවල සිසුන් ද ඇතුළුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයකට මුලික, පශ්චාත් හා ආචාර්ය උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවන් විශාල ප්‍රමාණයක් හැදෑරීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත් වී ඇත.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: