hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 25, ප.ව. 1:31



කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය ඥාතීන් වෙත භාරදීමෙන් අනතුරුව කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ඒමට නියමිතයි.

එහි අද පස්වරුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව දේහය හෙට උදෑසන ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යනු ඇති.

අරගලය සමයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවස ගිනිතැබීමට ලක්වුණා.

අද අලු‍යම 2ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ 11 වන කිලෝමීටර කණුව අසල දීයි.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කළ ජිප් රථය ඉදිරියෙන් කන්ටේනර් රථයක් සහ ඊට පිටුපසින් මෝටර් රථයක් ගමන් කර තිබෙනවා.

එම මෝටර් රථය කන්ටේනර් රථය පසු කිරීමට යාමේදී ඊට පිටුපසින් පැමිණි ජිප් රථය එම මෝටර් රථයේ ගැටීම වලක්වා ගැනීම සදහා එය කන්ටේනර් රථය දෙසට හරවා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එම අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය, කන්ටේනර් රථයේ පිටුපස ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී ඇති බව සඳහන්.

එහිදී ජීප් රථයේ වම්පස අසුනේ ගමන් කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පසු පස අසුනේ සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරෙන් ජීප් රථයේ රියදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු පොලිස් භාරය යටතේ ප්‍රතිකාර ලබනවා.

අනතුරෙන් පසු ජීප් රථයේ සිටි රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඉන් පිටතට ගැනීමට ආරක්ෂක අංශවලට දැඩි වෙහෙසක් දැරීමට සිදුවුණා.

අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඊයේ රාත්‍රියේ හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී යලි කොළඹ බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ රාගම ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණේ, වැලිසර ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විදානගේ ප්‍රධානත්වයෙන්.

අනතුර සැලවීමත් සමග රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් සහ දේශපාලඥයින් ඇතුළු පිරිසක් රාගම ශික්ෂණ රෝහල වෙත පැමිණියා.

1975 මැයි මස 03 වැනි දා හලාවත දී උපත ලැබූ සනත් නිශාන්ත පෙරේරා හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසු‍වෙක්. 1997 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළත් ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා.

කෙසේ වෙතත්, එවකට එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් හේමචන්ද්‍රගේ ඝාතනයෙන් අනතුරුව සනත් නිශාන්ත සභිකයෙකු ලෙස ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට පත් වුණා.

අනතුරුව 2004 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ඔහු 2009 වසරේ පැවති පළාත් සභා මැතිවරණය ද ජය ගත්තා.

එහි ධීවර, අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සනත් නිශාන්ත 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප ඡන්ද 80,082ක් ලබා ගනිමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වන අතර, අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා වන්නේ ද සනත් නිශාන්තයි.

මිය යන විට ඔහු ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: